උතුරු අප්‍රිකාවට ඇතුළත් වීමට කොළඹ කොටස් වෙළෙඳපොළට එන මෙරට ඇඟළුම් දැවැන්තයා

    June, 28, 2021

    මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදක සමාගමක් වන Hela Clothing ඉදිරි වසරක කාලය ඇතුළත දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට සූදානම් බව වාර්තා වේ. Hela Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලංක ජිනදාස මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති අඩවිය මේ පිළිබඳව අනාවරණය කර සිටී.

    උතුරු අප්‍රිකානු කලාපය වෙත අවතීර්ණ වීමට සහ දැනට සිදු කරන නැගෙනහිර අප්‍රිකානු කලාපය තුළ සිදුකරන සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ හරහා සිදුකිරීමට නියමිත මූලික මහජන කොටස් නිකුතුවකින් අරමුදල් සම්පාදනය කර ගැනීමට සමාගම සැලසුම් කර ඇත.

    මෙහිදී ඩිලංක ජිනදාස මහතා පවසන්නේ, මාර්තු මාසයේ මූල්‍ය වර්ෂය අවසන් වන විට සමාගමේ වටිනාකම 11% කින් ඩොලර් මිලියන 250 දක්වා ඉහළ නැංවීම සඳහා ඊජිප්තුවේ ඩොලර් බිලියනයක ඇඟලුම් වෙළඳපොළට ඇතුළුවීම උපකාරී වනු ඇති බවයි.

    මේ වන විට Hela Clothing කර්මාන්තශාලා ඉතියෝපියාවේ සහ කෙන්යාවේ ක්‍රියාත්මක අතර කොරෝනා වසංගත මධ්‍යයේ පවා සමූහයේ ආදායමෙන් 70%ක් ලබා දීමට ඒවා සමත්වී ඇත.

    සමාගමේ ආදායමෙන් 60% කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් පිටත උපයන අතර නැගෙනහිර අප්‍රිකානු කලාපයෙන් පසුගිය වසරේදී ඩොලර් මිලියන 100 කට අධික ආදායමක් උපයා ඇති බව ජිනදාස මහතා පවසයි.

    ලොව සුපතළ ඇඟළුම් සන්නාමයන් වන Tommy Hilfiger සහ Calvin Klein හි ප්‍රධාන සැපයුම්කරුවා වන්නේ Hela Clothing සමාගමයි.