August, 23, 2021
විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.
මේ වන විට විදෙස් මුදල් භාවිතය සම්බන්ධයෙන් ඇතැම් බැංකු යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව ද මහ බැංකුව මෙහිදී කියා සිටී. ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පවසන්නේ ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කර ඇති බවයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවුඩ පැතිරයාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත්, එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිඳු නව සීමාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා නොමැති බවත් එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. කෙසේවෙතත්, ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිතා කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇති බව නිරීක්ෂණය කරන ලදි.
ඒ අනුව, විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිතා කරමින් නිත්‍යානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණපෑමට සිදු වේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කර ගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිතා කරන ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Video Story