ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පහළට

    September, 22, 2021

    ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ දී පැවති සියයට11.0හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 11.1 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 ජූලි මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 3.0 දක්වා පහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි. දර්ශකයෙහි වෙනස, 2021 ජූලි  මාසයේ දී පැවති සියයට 5.4හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 5.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

    2021 අගෝස්තු මාසයේ දී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස 0.36ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සදහා හේතු විය. තවද, ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.25ක් සහ සියයට 0.11ක් ලෙස වාර්තා විය.  ඒ අනුව, 2021 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, සීනි, අර්තාපල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගිය  අතර,  සහල්, පොල්තෙල් සහ පොල් මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය.  මීට අමතරව, ප්‍රධාන වශයෙන් මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ (පුවක්) සහ සෞඛ්‍ය (පෞද්ගලික රෝහල්/ සාත්තු නිවාස ගාස්තු) යන උප කාණ්ඩවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නොවන කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, මාසය තුළ දී වාර්තා විය.