E M L Consultants Limited කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වෙයි

    September, 27, 2021

    E M L Consultants Limited (EML-N-0000) කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ගනුදෙනු වීම අද දිනයේදී එනම් 2021 සැප්තැම්බර් 27 වන දින ඇරඹී මෙහි “2020 - වාණිජ හා වෘත්තීය සේවා” කර්මාන්ත ක්ෂේත්‍රය යටතේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 90,900,000 ක් ලැයිස්තුගත කරනු ලැබීය.

    මෙම සමාගම Empower පුවරුව සඳහා පිළිගනිමින් හා සුබ පැතුම් එක්කරමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කර සිටියේ, 2021 වර්ෂය කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රාථමික වෙළෙඳපොළ සඳහා ඉතා වැදගත් වර්ෂයක් වන බවත් 30 කට අධික නව ලයිස්තුගතවීම්  සඳහා කොළඹ කොටස් හුවමාරුව පහසුකම් සපයමින් රුපියල් බිලියන 100 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාග්ධන උත්පාදනයට මාර්ගය විවර කර ඇති බවත්ය. මෙය පසුගිය වසරේ උපයන ලද රුපියල් බිලියන 66 ක මුදල අබිභවා යාමක් බවත් එමහතා ප්‍රකාශ කළේය.

    E M L Consultants Limited කළමනාකාර අධ්‍යක්ෂ අවන්ති ජයතිලක මහතා තම සමාගම සනිටුහන් කළ සන්ධිස්ථානය පිළිබඳව අදහස් පළකරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ සුළු මධ්‍ය පරිමාන කර්මාන්ත කරුවන් නියෝජනය කරන සමාගමක් ලෙස, ඔවුනට ලැයිස්තුගත වීම සඳහා වෙනමම පුවරුවක් හඳුන්වාදීම පිළිබඳව කොළඹ කොටස් හුවමාරුවට හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අපගේ අගය කිරීම හිමිවිය යුතුයි. ප්‍රාග්ධනය රැස් කරගැනීමට අපි කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වීම හරහා කොටස් නිකුත් කිරීම තෝරාගත්තේ, ඒ මඟින් අප ව්‍යාපාරයට ලැබෙන පිළිගැනීම තුල ජාතික හා ජාත්‍යන්තර ආයෝජකයින් එයට ආකර්ෂණය කරගත හැකිවීම නිසයි. ඒ වාගේම ජාත්‍යන්තර තරඟකාරීත්වයට අප සුදානම් වූ වහාම තව දුරටත් කොටස් නිකුත් කිරීම හරහා ප්‍රාග්ධනය උත්පාදනයට අප සුදානම්” යනුවෙනි.

    සමාගමේ අනාගත ව්‍යාපාරික සැලසුම් පිළිබඳව අදහස් පළකරමින්, ඉදිරි කාලයේදී ජාත්‍යන්තරය තුලදී පළමුව කලාපීය වශයෙනුත් ඉන් පසු පැසිෆික් හා අග්නිදිග ආසියානු කලාපයටත් ව්‍යාප්ත කරලීමට අපේක්ෂා කරන බවත්, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජකයින් හා හවුල් කරුවන් සමඟ එක්ව තරඟ කිරීමට කැමැත්තෙන් පසුවන බවත් කියා සිටියේය. එමෙන්ම තම සමාගමෙහි කොටස් මිලදී ගැනීමට ද්විතියික වෙළෙඳපොළ හා එක්වන ලෙසට ආරාධනා කරන බවද ඒ මහතා පැවසීය.

    මෙම ලැයිස්තුගත කිරීමෙහි කළමනාකරුවන් හා අනුග්‍රාහක සමාගම ලෙස කටයුතු කළ Atarah Capital Partners හි  කලමනාකාර අධ්‍යක්‍ෂ රොහාන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ, E M L Consultants Limited හි ලයිතුගතවීම උපදේශන කාර්යයන් පිළිබඳ ක්ෂේත්‍රයෙහි වෙනත් සමාගමක්  තවමත් කොටස් හුවමාරුවෙහි ලයිස්තුගතවී නොමැති නිසා ඉතාම සුවිශේෂී වන බවත් මෙය එම ක්ෂේත්‍රයෙහි  අනෙකුත් සමාගම් වලටත් ආදර්ශයක් සපයන බවත්ය.

    තවදුරටත් අදහස් දැක්වූ එමහතා “E M L Consultants Limited යනු සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරන සමාගමක්. එම සමාගම් වලට තම වර්ධනීය අවස්තාවේදී ප්‍රාග්ධනය වර්ධනය කර ගැනීම සඳහා මූලික කොටස් නිකුතුවකට යොමු වීම සාමාන්‍ය කරුණක් වුවත් මෙම සමාගම හඳුන්වාදීම හරහා ලයිතුගත වීමකට යොමුවුණා. ක්ෂේත්‍රය තුල වසර 30කට අධික අත්දැකීම් සහිත, ඉතාම පළපුරුදු නායකත්ව කණ්ඩායමක් සිටින සමාගමක් ලෙස තම මෙහෙයුම් ඉතිහාසය තුලදී ඉතා හොඳ ස්ථානයක් අත්පත් කරගෙන තිබීම මෙයට හේතුවයි. ඒවගේම මෙවැනි සමාගම් වලට කොටස් වෙළෙඳපොළෙහි ප්‍රයෝජනය ගැනීමට කොළඹ කොටස් හුවමාරුව හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව Empower පුවරුව හඳුන්වා දීම පිළිබඳව අගය කළ යුතුයි.” යනුවෙන් සඳහන් කළේය.

    Video Story

    Stock Market

    Exchange Rates