October, 4, 2021
කෙරවලපිටිය LNG බලාගාරයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ලබා දීම කිසිදු ගැටළුවක් නොවන බවත් එය තමන්ගේ ප්‍රතිපත්තිවලට බාධාවක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (04) දින පාර්ලිමේන්තුවේ දී යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. කෙසේවෙතත් බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකානු සමාගමකට ගෑස් ඒකාධිකාරිය ලබා දීම තමනට ප්‍රශ්නයක් බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා,
"LNG සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් වුණා. ඒවගේම අපි උපායමාර්ගික වශයෙන් වැදගත් සම්පත් රැකගැනීම වෙනුවෙන් ඉන්නවා. පෞද්ගලික අංශය බලශක්තිය සමබන්ධයෙන් ව්‍යාපාරවලට සම්බන්ධ වෙනවාට අපි විරුද්ධ නැහැ. මේ සියයට 40 ක් කොටස් මිල දී ගැනීම සම්බන්ධයෙන් මට නම් ප්‍රශ්නයක් නැහැ. මගේ ප්‍රතිපත්තිවලට ඒකේ කිසිම බාධාවත් නැහැ. අපේ රටේ මිනි හයිඩ්‍රෝ තියෙනවා සියයට සියයක් පෞද්ගලික අංශයට අයිති, ඊළඟට සූර්ය විදුලි බලාගාර, සුළං විදුලි බලාගාර තියෙනවා සියයට සියයක් පෞද්ගලික අංශයට අයිති. ඒ සියයට 40 නම් කිසි ප්‍රශ්නයක් නැහැ."
"ඔව්. ඇමරිකානු සමාගමට ගෑස් ඒකාධිකාරිය ලබා දීම අපිට ප්‍රශ්නයක් තමයි. එය අපේ බලශක්ති සුරක්ෂිතතාවයට බලපාන්නේ කොහොමද, යහපාලනයකට බලපාන්නේ කොහොමද, රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බලපාන්නේ කොහොමද, වගේම අපි කැණීමට බලාපොරොත්තු වෙන මන්නාරම් ද්‍රොණියේ ගෑස් නිධි සඳහා ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට බලපාන්නේ කොහොමද කියලා මා අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණා අමාත්‍ය මණ්ඩලය ඇතුළේ තිබේවි."
Video Story