September, 18, 2026
SriLankan Aviation College ආයතනය විසින් සංවිධානය කරනු ලබන ‘The Skyline Stories’ සංවාද මාලාවේ 6 වන වැඩසටහන, පසුගියදා ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සංවත්සර වැඩසටහනක් ලෙස පවත්වන ලදි. එය ශ්‍රීලංකන් ගුවන් සේවයේ උන්නතියට දායක වූ පුරෝගාමී ගුවන් නියමුවන්ගේ මෙහෙවර සැමරීමක් මෙන්ම, එම මෙහෙවර අනාගතය වෙත රැගෙන යමින් සිටින නව පරපුර ඇගයීමක්ද විය.
1979 වසරේදී ‘එයාර් ලංකා’ (Air Lanka) ලෙස ආරම්භ වූ ශ්‍රීලංකන් ගුවන් සේවය මේ දක්වා පැමිණි ගමන් මඟ මෙන්ම, ගුවන් සේවයේ දියුණුව වෙනුවෙන් මුල්කාලීන ගුවන් නියමුවන් ඉටු කළ කාර්යභාරය, ඔවුන්ගේ අත්දැකීම් සහ ගුවන් සේවා ක්ෂේත්‍රය හැඩගැස්වීමට ඔවුන් දායක වූ ආකාරය පිළිබඳවද මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කරන ලදි.
එයාර් ලංකා සමාගමේ ආරම්භක අවධියේ එහි ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් වූ කපිතාන් රංජිත් පේද්‍රිස් සහ කපිතාන් නිහාල් ජයවික්‍රමගේ පුතුන් වූ කපිතාන් ශවන්ත පේද්‍රිස් සහ ජ්‍යෙෂ්ඨ සහය ගුවන් නියමු (Senior First Officer) නුවන් ජයවික්‍රම මෙම වැඩසටහනට සහභාගී වූහ. ඔවුන්ගේ සහභාගීත්වය, ජාතික ගුවන් සේවය ගොඩනැංවීමට දායක වූ මුල්කාලීන පරපුරත්, එම උරුමය ඉදිරියට රැගෙන යමින් සිටින නව ගුවන් සේවා වෘත්තික පරපුරත් අතර පවතින අඛණ්ඩ සම්බන්ධතාව මැනැවින් පිළිබිඹු කරන්නක් විය. එමෙන්ම පසුගිය වසර 47 පුරා ශ්‍රී ලංකාවේ සංචාරක හා ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ශ්‍රීලංකන් ගුවන් සේවය ඉටු කළ මෙහෙවර සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුකෙරිණි.
මෙම වැඩසටහනේදී අදහස් දැක්වූ කපිතාන් ශවන්ත පේද්‍රිස් මෙසේ පැවසීය:
“මගේ පියාගේ රැකියාව නිසා කුඩා කාලයේ මට දැනුණේ සෑම දෙයක්ම ගුවන් සේවා ක්ෂේත්‍රය හා සම්බන්ධ දෙයක් ලෙසයි. මා ඔහුගෙන් විශාල ආභාසයක් ලැබුවා. සෑම විටම ඉහළ මට්ටමේ ඉලක්ක හඹා යන මෙන් ඔහු මා දිරිමත් කළා. එහෙත් මේ දක්වා පැමිණි ගමන මට සෑම විටම සුවපහසු ගමනක් වුණේ නෑ. මේ ගමන අතරතුර මට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. මා ලද සෑම අත්දැකීමක්ම මා වඩාත් ශක්තිමත් කෙනෙකු බවට පත් කළා. ඒ වගේම ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳ මා තුළ ඇති ළැදියාව තවදුරටත් වර්ධනය කළා. දැන් මට සිතෙන්නේ, මට මෙතරම් දේවල් ලබාදුන් මෙම ක්ෂේත්‍රයට කෘතගුණ සැලකීමට කාලය එළඹී ඇති බවයි.”
ජ්‍යෙෂ්ඨ සහය ගුවන් නියමු (Senior First Officer) නුවන් ජයවික්‍රම මෙසේ සිය අදහස් පළකළේය:
“ගුවන් සේවා ක්ෂේත්‍රය සෑමවිටම අපේ පවුලේ කොටසක් වුණා. ඒ නිසා ගුවන් නියමුවෙකු වීම මා නිතැතින්ම යොමු වුණු රැකියාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. කෙසේ නමුත් දෙමාපියන් කිසියම් ක්ෂේත්‍රයක කැපීපෙනෙන අය නම්, දරුවන්ටත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔවුන් අනුගමනය කිරීමට සිදු වන අවස්ථා තිබෙනවා. එහෙත් ජීවිතයේ සැබෑ අරමුණ විය යුත්තේ තවත් කෙනෙකු අනුගමනය කිරීම නොව, තමන්ගේම මාවතක් සොයාගැනීම බව කාලයක් සමඟ මට අවබෝධ වුණා. සෑම රැකියාවකම එයට ආවේණික අභියෝග තිබෙනවා. වෘත්තිකයෙකු ලෙස ඔබේ සාර්ථකත්වය තීරණය වන්නේ, එම අභියෝගවලට ඔබ දක්වන ප්‍රතිචාර අනුවයි.”
The Skyline Stories යනු මෙවැනි කථාපුවත් ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන එන සුවිශේෂී වැඩසටහනකි. SriLankan Aviation College හි සිසුන් වෙනුවෙන්ම පවත්වනු ලබන එම වැඩසටහනේ ප්‍රධානතම අරමුණක් වන්නේ, ගුවන් සේවා අධ්‍යාපනය සහ එම ක්ෂේත්‍රයේ වෘත්තීන් අතර පවතින පරතරය අවම කිරීමය. මෙම වැඩසටහන මඟින් ප්‍රමුඛ පෙළේ ගුවන් නියමුවන් සහ ගුවන් සේවා වෘත්තිකයන්ගේ වෘත්තීය තෝරාගැනීම්, අවස්ථා, අභියෝග, ජයග්‍රහණ සහ පසුබෑම් ඇතුළුව, පෙළපොත්වලින් හෝ පන්තිකාමරවලින් ඉගෙනගත නොහැකි ජීවන අත්දැකීම්වලට සජීවීව සවන් දීමට සිසු සිසුවියන්ට අවස්ථාව උදා වේ.
මෙම වැඩසටහනේ වැදගත්කම සම්බන්ධයෙන්, ඊට සහභාගී වූ සිසුවෙකු මෙසේ අදහස් දැක්වීය:
“Air Lanka සමගම හැදී වැඩුණු ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ අත්දැකීම් ඔවුන්ගෙන්ම අසා දැනගැනීමට ලැබීම අපට සුවිශේෂී අත්දැකීමක් වුණා. සාමාන්‍ය ඉගෙනුම් පරිසරයෙන් මඳකට බැහැර වී, සැබෑ ජීවිතයේ අභියෝගවලට මුහුණ දී ඒවා ජයගැනීම සහ තමන් අපේක්ෂා කරන ආකාරයේ ජීවිත ගොඩනංවා ගැනීම පිළිබඳව වැදගත් කරුණු රැසක් දැනගැනීමට එහිදී අපට අවස්ථාව ලැබුණා. මෙබඳු තරගකාරී ක්ෂේත්‍රයක් තුළ සාර්ථක වීමට අපට එවැනි මඟපෙන්වීම් ඉතාමත් වැදගත්.”
වැඩසටහනට සහභාගී වූ තවත් සිසුවෙකු අදහස් දැක්වූයේ මෙසේය:
“අප ආදරය කරන සහ අනාගතයේදී කොටස්කරුවන් වීමට බලාපොරොත්තු වන ගුවන් සේවයේ ආරම්භක යුගය සහ එය වර්තමානය දක්වා පැමිණි ගමන් මඟ පිළිබඳ මෙවැනි වටිනා තොරතුරු දැනගැනීමට ලැබීම ඇත්තෙන්ම නැවුම් අත්දැකීමක් වුණා. එමඟින් ජාතික ගුවන් සේවය සහ එහි උරුමය පිළිබඳව අප තුළ ඇති ඇල්ම සහ ගෞරවය තවත් වැඩි වුණා. ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ඉතිහාසයේ මුල් අවධිය වෙත අප රැගෙන ගිය මෙම වැඩසටහන අපට කිසිදා අමතක නොවන අත්දැකීමක් ලෙස හැඳින්වීමට පුළුවන්.”
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ පුහුණු අංශය ලෙස, රටේ ගුවන් සේවා කර්මාන්තය හැඩගැස්වීමට දායක වූ පුරෝගාමීන් සමඟ සෘජුව සම්බන්ධ වී, ඔවුන්ගේ අත්දැකීම් තුළින් පන්නරය ලැබීමට සිය සිසු සිසුවියන්ට අවස්ථාව සලසාදීමට SriLankan Aviation College ආයතනයට හැකියාව ඇත. The Skyline Stories හරහා ගුවන් සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය අධ්‍යාපනික හා තාක්ෂණික දැනුම පමණක් නොව, ක්ෂේත්‍රය තුළ පවතින අවස්ථා, වගකීම් සහ අභියෝග පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක්ද සිසු සිසුවියන් වෙත ලබාදීම එම ආයතනයේ අරමුණයි. ශ්‍රීලංකන් ගුවන් සේවයේ 47 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ වැඩසටහන, එයාර් ලංකා සමාගමේ සිට ශ්‍රීලංකන් ගුවන් සේවය දක්වා මෙරට ජාතික ගුවන් සේවය ගොඩනැංවීමට දායක වූ පුරෝගාමී පරපුරට උපහාර දැක්වීමක් මෙන්ම, එහි උරුමය හුදෙක් එක් පරපුරකින් තවත් පරපුරකට උරුම වන දෙයක් නොවන බවත්, නව පරපුර සෑම විටම තමන්ටම අනන්‍ය වූ මාවතක් සොයාගත යුතු බවත් මැනැවින් පෙන්වා දුන් අවස්ථාවක්ද විය.
SriLankan Aviation College පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.srilankanaviationcollege.com වෙත පිවිසෙන්න.

(වමේ සිට) ශ්‍රීලංකන් ගුවන් සේවයේ කපිතාන් ශවන්ත පේද්‍රිස් මහතා, වැඩසටහන මෙහෙයවූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් SriLankan Aviation College හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිනී ජයනි සී. සේනානායක මහත්මිය සහ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ සහකාර ගුවන් නියමු (Senior First Officer) නුවන් ජයවික්‍රම මහතා සැසිය අතරතුරදී.

කපිතාන් ශවන්ත පේද්‍රිස් ඔහුගේ පියා වන කපිතාන් රංජිත් පේද්‍රිස් සමඟ (දකුණේ) සහ ජ්‍යෙෂ්ඨ සහකාර ගුවන් නියමු (Senior First Officer)
Video Story