INSEE තාක්ෂණික නිලධාරින් වෙත කොවිඩ් ආරක්ෂණ භාණ්ඩ පරිත්‍යාග කරයි

    October, 21, 2021

    මෙරට ජනතාවට වඩාත් සමීප 'සංස්ථා සිමෙන්ති' වැනි නිෂ්පාදනයන් ගෙන එන, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති  සමාගම, කොවිඩ් වෛරසයට එරෙහි ජාතික සටනට සහයෝගය ලබා දෙමින්, තාක්ෂණික නිළධාරීන්ට අත්‍යවශ්‍ය කොවිඩ් ආරක්ෂණ උපකරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.  INSEE සිමෙන්ති සමාගම මේවන විටත් කොවිඩ් සටනට උර දෙන වැඩසටහන් රාශියක් දියත් කරන අතර, මෙම පරිත්‍යාගය එම වැඩසටහන්වලට අමතරව දියත් කළ සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්විය හැකි ය.

    මෙම භාණ්ඩ තොගය අදාල පාර්ශ්වයන් වෙත නිලවශයෙන් භාරදීම වෙනුවෙන්  INSEE i2i නවෝත්පාදන අවකාශයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව   උත්සවයක් පැවැත්වුණු අතර, එම උත්සවයට මධ්‍යම රජය, පළාත් පාලන ආයතන සහ INSEE සිමෙන්ති ආයතනය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගි වූහ. මෙම අවස්ථාවේ දී පළාත් පාලන ආයතන වෙත මුඛ ආවරණ 40,000 ක්,  දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 1800 ක් සහ මුහුණු ආවරණ (face-shields) තොගයක් පිරිනැමුණු අතර,  මධ්‍යම රජයේ තාක්ෂණික නිලධාරීන්ගේ සංගමය වෙත මුඛ ආවරණ 15,000 ක්, දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර (Hand – Sanitizer) බෝතල් 250 ක් සහ මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කෙරිණි.

    INSEE සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති (විකුණුම්, අලෙවිකරණ සහ නවෝත්පාදන) යාන් කුනිග් මහතා එම අවස්ථාවේ දී අදහස් දක්වමින් මෙසේ පැවසීය.

    "INSEE සිමෙන්ති සමාගම 'ජීවිතය ගොඩනඟන' කියන තේමාව යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්. එම මූලික සංකල්පයේ ම කොටසක් විදියට අපි අපගේ ජනතාවට නිරන්තරයෙන් සහයෝගය දක්වනවා.  වගකිව යුතු ආයතනික පුරවැසියෙක් විදියට, අපි කොවිඩ් -19 ව්‍යසනයට එරෙහි සටනට සහයෝගය දැක්වීම සඳහා පියවර ගණනාවක් ගෙන තිබෙනවා.  එය දැඩි අභියෝගයක් වුණත් අපගේ යුතුකම ඉටු කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.  මේ අනුව, මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට සහ සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය මෙවලම් රැසක් බලධාරීන් වෙත ලබා දීමට අපි කටයුතු කළා.  ඉදිකිරීම්  කියන්නෙ අත්‍යවශ්‍ය සේවාවක්. ඒ නිසා ම ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවයකරන තාක්ෂණික නිලධාරීන් සහ අනෙකුත් සේවකයින්ගේ රාජකාරී කටයුතු ආරක්ෂිතව සහ අඛණ්ඩව කරගෙන යාම සඳහා  සහයෝගය ලබාදිය යුතුයි කියන තීරණයෙ අපි ඉන්නවා. ඒ වගේ ම අපගේ ආයතනය තුළ දී සියලුම දෙනාගේ ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අපි ගත හැකි සෑම පියවරක් ම අරගෙන තිබෙන බව අවධාරණය කළ යුතුයි. පෙර නොවූ විරූ මෙවැනි අභියෝගාත්මක කාල වකවානුවක දී අප සියලුදෙනාට එක්ව නැඟී සිටීමට හැකි වන දිනය එළඹෙන තුරු අපි බලා සිටිමු කියලා මම හැම දෙනාට ම පැවසීමට කැමතියි."

    INSEE සිමෙන්ති නොහොත් සියම් සිටි සිමෙන්ති (ලංකා) ලිමිටඩ් සමාගම 1969 දී තායිලන්තයේ ආරම්භ කරන ලද අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයෙකු වන Siam City Cement Public Company Limited හි සාමාජිකයෙකි. එමෙන් ම  INSEE සමාගම විසින් සංස්ථා, මහවැලි මෙරීන්, මහවැලි මෙරීන් ප්ලස්, INSEE Rapid Flow, INSEE Rapid Flow Plus සහ INSEE Extra cement යන නිෂ්පාදන INSEE සන්නාමය යටතේ මෙරට වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBSL) වෙතින් 'හරිත  සහතිකය' හිමිකරගත් ප්‍රථම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සිමෙන්ති, ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති LMD සඟරාව මගින් වඩාත් ගෞරවනීය ආයතන අතරට ශ්‍රේණිගත කර ඇති අතර, එම සමාගම ශ්‍රී ලංකාවේ එකම පූර්ණ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ.