Uber මෙරට පීඩාවට පත් ජනතාවට රු. මිලියන 6 ක් වටිනා වියළි ආහාර පරිත්‍යාග කිරීමට Voice for Voiceless සමග එක්වෙයි

    November, 3, 2021

    Uber මෙරට දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන Voice for Voiceless  සමග එක්වී, COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් රු. මිලියන 6 ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම වියළි ආහාර ද්‍රව්‍ය අතරට එදිනෙදා අත්‍යවශ්‍ය වන සහල්, සීනි, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග සහ තේ කොළ ආදිය ඇතුළත් වී ඇත. දෛනික වැටුප් උපයන්නන්, අඩු ආදායම්ලාභී පවුල්, වතු කම්කරුවන්, සහ තනිව දරුවන් හදාවඩා ගන්නා මවුවරුන් ඇතුළුව, පවතින තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතා වලට මුහුණ පා සිටින පුද්ගලයන් වෙනුවෙන් මෙම වියළි ආහාර ද්‍රව්‍ය ප්‍රදානය කෙරේ. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම සීමා වී පවතින දුෂ්කර පළාත් ඇතුළුව දිවයිනේ සෑම පළාතකම වෙසෙන ජනතාව වෙත මෙම ආහාර ද්‍රව්‍ය බෙදාදීමට Uber සහ Voice for Voiceless කටයුතු කරනු ඇත.

    මීට පෙර ශ්‍රී ලංකාවේ COVID-19 එන්නත්කරණ මෙහෙයුම් සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමටද Uber කටයුතු කළේ ය. ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග අත්වැල් බැඳගෙන, මෙරට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක සේවිකාවන්, අවදානමට මුහුණ දී සිටින ප්‍රජාවන්, සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළුව පොදු මහජනතාව සඳහා ගමන් වාර 100,000 ක් නොමිලේ පිරිනමන ලදි. එමෙන්ම UNESCO සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්වී, එන්නත් මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා ගුරුවරුන් වෙත නොමිලේ ගමන් වාර 25,000 ක් ලබාදීමටද Uber කටයුතු කළේ ය.

    “Uber Sri Lanka සමග නැවතත් මේ ආකාරයට අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය ඔස්සේ මෙරට පීඩාවට පත් වී සිටින දහස් ගණනක පිරිසක් වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට අපට හැකියාව ලැබේවි. Uber ලබාදෙන දායකත්වය නිසා අපට මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී ජනතාවට වැඩි වැඩියෙන් සේවය සැලසීමට හැකි වී තිබෙනවා.”  Voice for Voiceless පදනමේ ජාතික අධ්‍යක්ෂ මෝසස් ආකාශ් මහතා පැවසී ය.

    “COVID-19 හේතුවෙන් මිලියන ගණනක ජනතාවක් ආහාර හිඟයෙන් පීඩාවට පත් වී සිටින පසුබිමක් තුළ අප එම ජනතාවගේ කුසගින්න අවම කිරීමට කැපවී කටයුතු කරමින් සිටිනවා. ප්‍රජාවන්ගේ යහපැවැත්ම අපට අතිශයින් වැදගත්. Voice for Voiceless සමග එක්වී මේ ප්‍රජා සත්කාරය ක්‍රියාවට නැංවීමට හැකිවීම අපට මහත් සතුටක්.” Uber Eats Sri Lanka සාමාන්‍යාධිකාරිනී භාව්නා දද්ලානි මහත්මිය පැවසුවා ය.