සිය සංවර්ධන සැළසුම් අඛණ්ඩව ඉදිරියට ගෙනයමින් GPV ඉලෙක්ට්‍රොනික්ස් සමාගම නව කර්මාන්ත ශාලාවකට මුල්ගල තබයි

    November, 4, 2021

    1986 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් ඉලෙක්ට්‍රොනික  නිෂ්පාදකයෙකු වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය නව  කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබමින්, තම සාර්ථක ගමන් මගේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් පසුකිරීමට සමත් විය.  2023 වසරේ පළමු කාර්තුවේ දී ඉදිකිරීම් කටයුතු නිම කිරීමට බලාපොරොත්තු වන එම නව කර්මාන්තශාලාවෙහි මුළු වපසරිය වර්ග මීටර 11,300 ක් වන අතර, නවීන නිෂ්පාදන පහසුකම් වලින් සමන්විත එම කර්මාන්ත ශාලාව මගින් තම නිෂ්පාදන ධාරිතාව වර්තමාන නිෂ්පාදන ධාරිතාව මෙන් දෙගුණයක් කිරීමට GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය අරමුණු කරයි.

    මෙම සුවිශේෂී අවස්ථාවේ දී නව කර්මාන්තශාලා පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා  පළමු පස් පිඩැල්ල කැපීම සිදු කළේ GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන චන්දන දිසානායක මහතායි. එම අවස්ථාවේ දී මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව දිසානායක මහතා අදහස් දැක්වූයේ මෙසේ යි.

    “ ඇත්ත වශයෙන් ම මෙය අපට ඉතා විශේෂ  අවස්ථාවක්.  අපි වසර කිහිපයක් තිස්සේ මෙම ව්‍යාපෘතිය  සැලසුම් කළත්,  කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම දිනෙන් දින ම ප්‍රමාද වුණා. අපගේ මෙම නව කර්මාන්ත ශාලාව මගින් ලෝකයේ භාවිතා වන නවීන තාක්ෂණය යොදාගනිමින්  ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කිරීමට අරමුණු කරනවා. ඒ වගේ ම ඉදිරියේ දී මෙම නිෂ්පාදනාගාරය මගින් cable-harness නිෂ්පාදනය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.  අපගේ සේවකයින් පවා මෙම නවීකරණය කෙරුණු කර්මාන්තශාලාවේ වැඩ කිරීමට නොඉවසිල්ලෙන්  බලා සිටිනවා.”

    GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනයේ සංවර්ධන සැලසුම් තව තවත් ශක්තිමත් කරමින් පවත්වාගෙන යන බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී බෝ ලිබෙක් මහතා අවධාරණය කරයි.

    “කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිවිපාකයන් පිළිබඳව පැහැදිලි දැක්මකින් යුක්තව, කෙටි කාලීනව හා දිගු කාලීනව අපගේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර අපි ගෙන තිබෙනවා. එමගින් ඉදිරියේ දී ඉතා සුරක්ෂිත ආයතනික පදනමක් සහිතව ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා. ආසියානු මහාද්වීපය තුළ ශක්තිමත් ආයතනයක් විදියට ගොඩනැගී තිබෙන දේශීය ආයතනයක් වන GPV ඉලෙක්ට්‍රොනික්ස් ආයතනය ISO 9001/14001/45001 යන තත්ත්ව සහතික ලබාගෙන තිබෙනවා. මෙතැන් සිට අපි, අපගේ ස්විට්සර්ලන්ත සහ ජර්මානු පාරිභෝගිකයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් තාක්ෂණික සේවා සැපයීම ආරම්භ කිරීමට නියමිතයි.  ශ්‍රී ලංකාව තුළ අපගේ සේවාවන් තව තවත්  පුළුල් කිරීම අපගේ  සැලැස්මේ පළමු පියවර විදියට දක්වන්න පුළුවන්. අපගේ  කුසලතා සපිරි කාර්‍යමණ්ඩලය සහ අපගේ වටිනා ගනුදෙනුකරුවන් තමයි අපට තිබෙන විශාලතම ශක්තිය. ඔවුන් සියලු දෙනා සමග විශ්වසනීය සබඳතාවක් ගොඩනගා ගැනීමට හැකිවීම පිළිබඳව මම  ආඩම්බර වෙනවා." යනුවෙන් ලයිබෙක් මහතා ප්‍රකාශ කළේ ය.

    “අපි අපගේ සේවකයින්ගේ ආරක්ෂාව ගැන දැඩි වශයෙන් අවධානය යොමු කරනවා. ඒ වගේ ම  අපගේ මෙම නව ගොඩනැගිල්ල  ඉදිකිරීම සඳහා  සම්බන්ධවන සියලු දෙනාගේ ආරක්ෂාව ගැනත් අපි දැඩිව සිතනවා. මේ නිසා ම LTI ශුන්‍ය  ඉදිකිරීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම සඳහා  අපගේ ප්‍රාදේශීය කළමනාකාරිත්වය ක්‍රියාත්මක වන බව පැවසිය යුතු ම කරුණක්. ” ලයිබෙක් මහතා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

    ඡායාරූපය : GPV කළමනාකාර අධ්‍යක්ෂ, චන්දන දිසානායක මහතා (මැද) මුල්ගල් තැබීම සඳහා සහභාගි වෙමින්.