November, 9, 2021
සුව සේවා ක්ෂෙත්‍රයේ ජාත්‍යන්තර ACHSI ප්‍රමිතිතරණය හිමිකර ගත් මෙරට පළමු පුද්ගලික රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහය, ශ්‍රී ලාංකීය තාරුණ්‍ය වෙත රැකියා නියුක්තියෙහි නව බලාපොරොත්තු දල්වමින් සෞඛ්‍ය සේවා ආශ්‍රිතව වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙන් සුව ශික්ෂා නම් වූ විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කර ඇත. විවිධ හේතුන් නිසා විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන වරම් නොලැබුනු සුවහසක් තරුණ තරුණියන් වෙත සිය වෘත්තීය ජීවන ගමන ගෞරවනීය සෞඛ්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව අරඹන්නට ස්ථාවර අඩිතාලමක් සකස් කර දීමට හේමාස් රෝහල් සමූහයේ සුව සේවා ඇකඩමිය ( Hemas academy of health care )විසින් පිරිනමන සුව ශික්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන මහත් පිටුබලයක් වනු ඇත.
සුව ශික්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මූලික පාඨමාලාවන් 3ක්සඳහා හේමාස් රෝහල් සුවසේවා ඇකඩමිය විසින් ශිෂ්‍යත්ව පිරිනමන අතර මෙම ඇකඩමිය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සහ පුද්ගලික රෝහල් නියාමනයන්ට අනුකූලව විෂය නිර්දේශයන් සකසා ඇති අතර මෙමගින් පිරිනමනු ලබන පාඨමාලාවන්ට ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබා දෙනු ඇත. මෙහිදී හෙද පාඨමාලාව, හෙද සහායක පාඨමාලාව සහ උපස්ථායක පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමෙනු ඇත. හෙද පාඨමාලා ශිෂ්‍යත්වය සඳහා අවම සුදුසුකම උසස් පෙළ ඔනෑම විෂය ධාරාවකින් විෂයන් 3 සමත් විය යුතු අතර හෙද සාහායක සහ උපස්ථායක පාඨමාලාව සඳහා සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීම ප්‍රමාණවත් වේ. සුව ශික්ෂා ශිෂ්‍යත්ව සඳහා අයදුම් කරන තරුණ තරුණියන් යෝග්‍යතා පරීක්ෂණයකට යොමු කරන අතර එහිදී ලබා ගන්නා ලකුණු මට්ටම අනුව එක් එක් පාඨමාලාවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ. සුව ශික්ෂා ශිෂ්‍යත්ව ලාභීන් තෝරා ගන්නා පාඨමාලාව අවසන දී ඔවුන්ගේ පාඨමාලාව අනුව ජාතික මට්ටමේ සහතිකයක් ප්‍රදානය කෙරේ.
මෙම ශිෂ්‍යත්වය වෘත්තීය ක්ෂේත්‍රයක් ආවරණය කෙරෙන නිසාම අධ්‍යන කාලසීමාවෙන් පසු හේමාස් රෝහල් සමූහය තුළ රැකියාවක් හිමි වීම නිසා ශිෂ්‍යත්ව ලාභීන්ගේ ආර්ථික ස්ථායිතාව ගොඩනංවා ගැනීමටද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන විශාල සවිබලයක් ඔවුන්ගේ ජීවිත වලට ලබා දෙයි. සමස්ත පාඨමාලාවම නොමිලේ හැදෑරීමට තරුණ තරුණියන්ට අවස්තාව සැලසෙන බැවින් දිවයින සිව්කොණ විසිර සිටින ආර්ථික අපහසුකම් මැද ජීවිතය ජය ගන්නට වෙර දරණ තාරුණ්‍ය වෙත මෙය මහඟු අවස්ථාවක් වනවාට සැක නැත. අධ්‍යයන කාලසීමාව තුළ යම් දීමනාවක් හිමිවන බැවින් ශිෂ්‍යත්වලාභීන්ට තම වියදම් කළමනාකරණය කර ගැනීමට ඉන් සහායක් හිමිවේ. එමෙන්ම අධ්‍යයන කාලසීමාව තුළ හිමිවන දීමනාවෙන් කොටසක් විශේෂ ඉතුරුම් අරමුදලකට බැර වෙන අතර අධ්‍යයන කාලසීමාව අවසන හිමිවෙන රැකියාවේ දෙවැනි වසර සම්පූර්ණ වන විට එම අරමුදල නැවත ලබා ගැනීමේ හැකියාව මෙම තරුණ රෝහල් සේවා වෘත්තිකයින්ට හිමිවේ.
හේමාස් රෝහල් සමූහයේ සුවසේවා ඇකඩමිය විසින් පිරිනමන සුව ශික්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සහ රසායනාගාර සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා “ අාර්ථික අපහසුතා සහ විවිධ හේතුන් මත උසස් අධ්‍යාපනය වෙත යොමු වීමට නොහැකි වූ දහස් සංඛ්‍යාත තරුණ ශ්‍රම බලකායක් ලංකාවේ සිටිනවා. මේ අයගේ ජීවිතවල අනාගතය පිළිබඳව ස්ථිර අදහසක් බොහෝ දෙනකුට නැහැ. හැමවිටම සමාජයේ යහ පැවැත්ම සහ ශ්‍රී ලාංකාවේ ආර්ථික ස්ථායීතාව වෙනුවෙන් සෞඛ්‍ය සේවාවන් තුළින් උපරිම මෙහෙවරක් ඉටු කිරීමට කැපවී සිටින හේමාස් රෝහල් සමූහය මේ ගැටලුව පිළිබඳව මනා අධ්‍යයනයකින් අනතුරුව ජාතික වෘත්තීය පුහුණු අධිකාරීයේ සහ පුද්ගලික රෝහල් නියාමන අධිකාරියේ නියාමනයන්ට යටත්ව සෞඛ්‍ය සේවාව ආශ්‍රිතව වෘත්තිකයින් බිහිකිරීම සහ තාරුණ්‍ය සවිබල ගැන්වීමේ අරමුණ ඇතිව සුවශික්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්ක කරනු ලැබුවා. එබැවින් විවිධ හේතු මත උසස් අධ්‍යාපනය අහිමි වූ තරුණ තරුණියන්ට නොමිලේ වඩාත් ගෞරවනීය සෞඛ්‍ය සේවා වෘත්තිකයකු බවට පත් වීමට හැකියාව ලැබෙන අතර මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පිරිනමනු ලබන ජාතික වෘත්තීය පුහුණු නිපුණතා සහතිකය ජාත්‍යන්තරව ද පිළිගන්නා බැවින් සෞඛ්‍ය සේවා ආශ්‍රිතව වෙනත් රටක රැකියාවකට පිවිසීමේ අවස්ථාව ද මෙම තරුණ තරුණියන්ට හිමිවෙනවා. පුද්ගලික අංශයේ රෝහල් සේවාවක් ලෙස හේමාස් රෝහල් සමූහය අපගේ මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් ලබා දිය හැකි උපරිම මෙහෙය නොපිරිහෙලා ඉටු කිරීම අපගේ ඒකායන පැතුමයි.
සුව ශික්ෂා ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා එක් වූ තරුණ තරුණියන් සඳහා නොමිලේ, නේවාසික පහසුකම් , සෞඛ්‍ය අරක්ෂණ ආවරණ,ආදිය ලබා දෙන අතර පාඨමාලාවන් හදාරන සිසුසිසුවියන්ගේ විෂය බාහිර කුසලතාවන් ඔප් නැංවීම සඳහා විවිධ චිත්‍ර තරග, කලා උළෙල, වාර්ෂික චාරිකා ඇතුළු විෂය සමගාමී හා විෂය පරිබාහිර වැඩසටහන් ආදිය සංවිධානය කෙරේ.