ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව “Apesalli.lk” වෙබ් අඩවිය දියත් කරයි.

    December, 14, 2021

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව "Apesalli.lk" වෙබ් අඩවිය දියත් කරයි.

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය වසර දෙකක කාලය තුළ ලෝකයේ දූෂණ ක්‍රියා සිදුකිරීමේ ඇති ප්‍රවණතාවය ඉහල ගොස් ඇති අතර ජනතාව මත දූෂණයේ අහිතකර බලපෑම් ඉහළ නංවමින් ගෝලීය දූෂණයේ වපසරිය සීඝ්‍ර වෙනසකට මුහුණ පා ඇත.
    ජීවන වියදම ඉහළ යමින් පවතින සහ අවශ්‍යතා හිඟ වූ වසංගත ආර්ථිකයක් තුළ රටේ ජනතාව ජීවත් වීමට අරගල කරන පසුබිමක 2021 වර්ෂයේ දී ජාතිය කැළඹූ දූෂණ චෝදනා රාශියක් ශ්‍රී ලංකාව තුළ වාර්තා විය.

    ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වන අද දින (දෙසැ. 9) සනිටුහන් කරන්නේ මෙවැනි කණගාටුදායක පසුබිමකය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙම වසරේ කේන්ද්‍රීය තේමාව ලෙස "අපේ සල්ලි " තෝරාගෙන ඇති අතර එමගින් මහජන සම්පත් අවභාවිතය මෙන්ම දූෂණය හරහා බලය අනිසි ලෙස භාවිතා කිරීම ඉස්මතු කිරීමට උත්සාහ කරයි.
    එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් වන කොෆි අනන් වරක් ප්‍රකාශ කොට ඇත්තේ "දූෂණය යනු රෝගයක් නම්, විනිවිදභාවය එහි ප්‍රතිකාරයේ කේන්ද්‍රීය කොටසකි" යනුවෙනි.
    එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයා විසින් විස්තර කරන ලද දූෂණය මැඩපැවැත්වීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේ උත්සාහයක් ලෙස, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් දූෂණයට එරෙහි සමාජ ක්‍රියාකාරිත්වය උදෙසා වන පුරවැසි වෙබ් අවකාශයක් ලෙස Apesalli.lk අද දින දියත් කරනු ඇත.

    Apesalli.lk පුරවැසියන්ට දූෂණ සිදුවීම් TISL වෙත වාර්තා කිරීමට සුවිශේෂී වේදිකාවක් සපයයි. සවිස්තරාත්මක සත්‍යාපන ක්‍රියාවලියකින් පසුව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් නීතිමය සහන ලබාගැනීම සම්බන්ධයෙන් පැමිණිලිකරුවන්ට උපදෙස් දීමටද, හැකි සෑම විටම බලධාරීන් වෙත සෘජුවම පැමිණිලි කිරීමට අවස්ථාව සලසා දීමටද පියවර ගනු ලැබේ. එදිනෙදා ජීවිතයේ දී දූෂණය අත්විඳ ඇති සහ නිරීක්ෂණය කර ඇති පුරවැසියන් හට ඔවුන්ගේ කථා ලිවීමට ද, ඒවා රටේ සෙසු ජනතාව සමඟ බෙදා ගැනීමටද ,මහජන අවධානය දිනා ගැනීමට සහ දූෂණය පිළිබඳ මහජන කතිකාවතක් ඇති කිරීමෙහිලා මෙම වෙබ් අඩවිය මගින් වේදිකාවක් ලබා දේ.

    Apesalli.lk වෙබ් අඩවිය, රාජ්‍ය සම්පත් අවභාවිතය, මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ මැතිවරණ ප්‍රචාරක කාලසීමාවන් තුළ සිදුවන වෙනත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ වාර්තා කිරීමට ද පහසුකම් සපයයි.

    මෙම වෙබ් අඩවිය මඟින් රටේ නිශ්චිත ප්‍රදේශවල දූෂණ හා සම්බන්ධ සිද්ධීන් නිරීක්ෂණය කිරීමට මෙන්ම Apesalli.lk වෙබ් අඩවිය වෙත වාර්තා වන දූෂණ හා සම්බන්ධ සිදුවීම් පිළිබඳ සංඛ්‍යාලේඛන ලබා ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව ලබා දෙනු ඇත.
    අද දිනයේදී ,ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් දූශන චෝදනා, සහ දූෂණ විරෝධී වපසරියෙහි වෙනස්කම් පිළිබඳ සාරාංශත කොට මේ සදහා ගතහැකි ක්‍රියාමාර්ග ඇතුළත් සමාලෝචනයක් ලෙස "Hindsight 2021" වාර්තාව නිකුත් කරනු ඇත.

    ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් TISL විධායක අධ්‍යක්ෂිකා නදිශානි පෙරේරා මහත්මිය සිය පණිවිඩය නිකුත් කරමින් මෙසේ අදහස් දැක්වූවාය.
    “මේ වසරේ සිදු වූ අතිශයින් සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබේ.
    මේ වසර මුලදී ලබාදුන් ආන්දෝලනාත්මක බදු සමාව, කඩිමුඩියේ සම්මත වූ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත, සීනි, පොහොර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධ දූෂණ වංචා කිහිපයක්, මේ වසරේ සිදු වූ කනස්සල්ලට පත්වන සිදුවීම්වලින් කිහිපයක් පමණි.

    රජය විසින් ගනු ලබන තීන්දු තීරණයන්හි වගවීමක් හෝ විනිවිදභාවයක් ඇත්නම් මෙවැනි හානිකර සිදුවීම් බොහොමයක් අවම කරගැනීමේ හෝ වළක්වා ගැනීමේ හැකියාව ඇත.කෙසේ වෙතත්, රජයේ සහ රාජ්‍ය අංශයේ පද්ධති සහ ක්‍රියාවන්හි ඉහළ විනිවිදභාවයක් සහතික කිරීම ද ඉතා වැදගත් වේ. මෙයට අමතරව, සිදුවෙමින් පවතින දූෂණ කටයුතු මෙන්ම එම කටයුතු මගින් සිදුවන ඉදිරි බලපෑම පිළිබඳව පුරවැසියන්ට මනා අවබෝධයක් තිබිය යුතුය. එමගින් මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම පිළිබඳ පවතින මහජන ඉල්ලුම ඉහළ නැංවෙනු නොඅනුමානය.

    කොවිඩ් 19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මහජනතාවට එන්නත් ලබාදීමේ ප්‍රගතියක් අත්පත් කර ගමින් සිටින මොහොතක, මෙරට සංවර්ධනයෙහි ඵල නෙළා ගැනීමට බාධා පමුණුවමින් , අසමානතාවයන් ඉහළ නංවමින් ශ්‍රී ලංකාව වසර ගණනක් මුළුල්ලෙහි සංවර්ධනය වෙමින් පවතින එක තැන පල්වෙන ජාතියක් බවට පත් කළ, දශක ගණනාවක් මුළුල්ලෙහි මෙරට පීඩාවට පත් කළ දූෂණය නැමැති වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වීමට අපිත් කැපවෙමු."

    මෙවර දූෂණ විරෝධී දිනය සනිටුහන් කරමින් දූෂණයට එරෙහිව නැගී සිටින ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය රාජ්‍ය, පෞද්ගලික, ප්‍රජාව යන සියලුම ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටීන අතර දූෂණයට එරෙහි පුරවැසි ක්‍රියාකාරිත්වයට පහසුකම් සලසන මෙවලමක් ලෙස Apesalli.lk වෙබ් අඩවිය හදුන්වා දෙනු ලබයි.