අයිඩියල් ෆිනෑන්ස් , මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ලෙස නැවත සන්නාමගත කෙරෙයි

    February, 25, 2022

    • නව අනන්‍යයතාවය මගින් මහින්ද්‍රා ෆිනෑන්ස් හි පුළුල් පරාසයක ප්‍රවීණතාවයෙන් ප්‍රයෝජන ගැනීම අරමුණු කරයි.
    • මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශ්‍රී  ලකාවේ ප්‍රමුඛතම මුල්‍ය සේවා සපයන්නා බවට පත් කිරීමේ ගමනට පිවිසීමට නැවත සන්නාමගතකරණ ව්‍යායාමය වැදගත්ය.

    අයිඩියල් ෆිනෑන්ස් යනු Mahindra & Mahindra Financial Services Limited (Mahindra Finance/ MMFSL) හි අනුබද්ධිත ආයතනයකි. ඔවුන් සිය සමාගම් නාමය Mahindra Ideal Finance Limited (MIFL) ලෙස නැවත සන්නාමගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව මෙම නැවත සන්නාමකරණය හරහා එහි ඒකාබද්ධ ව්‍යාපාරික හවුල්කාර දෙපාර්ශවය (මහින්ද්‍රා ෆිනෑන්ස් සහ අයිඩියල් සමූහය) විසින් "මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්" ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් (LFC) බවට පත් කිරීමේ දැක්ම ගොඩනඟනු ඇත. මහින්ද්‍රා ෆිනෑන්ස් හි ආයෝජනයන් සමග Fitch ශ්‍රේණිගත කිරීම් වල AA - (ස්ථාවර ඉදිරි දැක්ම/Outlook Stable) දක්වා නැවත ශ්‍රේණිගත කිරීම සමඟින් සමාගමට ශක්තිමත් පිළිගැනීමක් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ සිදු කරන මෙම Mahindra & Mahindra Financial Services Limited ආයෝජනය ඉන්දියාවේ මෙන්ම ආසියානු වෙලඳපොලවල්වලට ද ව්‍යාප්ත කිරීම මහින්ද්‍රා  ෆිනෑන්සි හි ජාත්‍යන්තර උපාය මාර්ගයේ කොටසකි (විශේෂයෙන්ම උපායමාර්ගික වැදගත්කමක් සහිත මෝටර් රථ සහ ගොවි උපකරණ නිෂ්පාදන සඳහා).

    අයිඩියල් ෆිනෑන්ස් දැනටමත් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි. නැවත සන්නාමගත කරන ලද ආයතනය වන "මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්" ඊටත් වඩා පුළුල් නිෂ්පාදන රැසක් පිරිනැමීම හරහා සිය පාරිභෝගික වටිනාකම් වැඩිදියුණු කරගැනීම පිළිබඳව තවදුරටත් කටයුතු කරනු ඇත. ඒ අතරට රන් ණය, පුද්ගලික වාහන සඳහා ලීසිං, වාණිජ ට්‍රක් රථ, යතුරු පැදි, ත්‍රීරෝද රථ, පාරිභෝගික මූල්‍ය ණය සහ පුද්ගලික ණය ආදී සේවාවන් ඇතුළත් වේ. තවදුරටත් සිය පාරිභෝගිකයින්ගේ දොරකඩට ම සේවා සැපයීම සහතික කිරීම සඳහා දිවයින පුරා සිය ශාඛා ජාලය ශීඝ්‍රයෙන් වැඩි කිරීමට ද සමාගම අපේක්ෂා කරයි.

    මෙහිදී අදහස් දැක්වූ මහින්ද්‍රා ෆිනෑන්ස් හි උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රමේෂ් අයියර් මහතා මෙසේ පැවසීය. “අපි ආසියාවේ ව්‍යාප්ත වීමට බලාපොරොත්තු වන අතර අයිඩියල් සමූහය සමඟ ඇති මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය එම දිශාවේ වැදගත්

    පියවරක් වනවා.  ඒ සඳහා ශක්තිමත්, දිගු කාලීන වර්ධන අවස්ථා සමඟින් ශ්‍රී ලාංකික වෙළෙඳපොළට විශාල වර්ධන විභවයක් ඇති බව අපි විශ්වාස කරනවා.  මෙම වර්ධනයට අවශ්‍ය ශක්තීන් සැපයීම සඳහා සම්පත්, ප්‍රාග්ධනය සහ විශේෂඥතාව අප ගෙන එන බැවින් නව මුහුණුවරකින් යුතු ආයතනයක් ලෙස මෙය, එහි හවුල්කරුවන් දෙදෙනාටම මෙම වෙළඳපොල තුළ සම ජයග්‍රහණයක් අත් කර දෙයි."

    අයිඩියල් සමූහ ව්‍යාපාරයේ සභාපති නලින් වෙල්ගම මහතා මෙසේ සඳහන් කළේය. “මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය සමඟ අපගේ සම්බන්ධය දිගුකාලීන එකක් වන අතර මහින්ද්‍රා සමූහ ව්‍යාපාරය පැරණි අයිඩියල් ෆිනෑන්ස් වෙත සිය සන්නාමය ලබාදීම මෙම හවුල්කාරිත්වය පිළිබඳව මහින්ද්‍රා සමූහය තබා ඇති විශ්වාසයට සාක්ෂියක්.  MIFL විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා වෙළඳපොලේ වඩ වඩාත් වේගවත් වර්ධන අවස්ථා සඳහා පහසුකම් සපයනු ඇති අතර රටේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් බවට පත්වීමේ අපගේ ඉලක්කය සපුරා ගැනීමට උපකාරී වනු ඇතැයි ද අපට විශ්වාසයි.  එය නව සන්නාමය වන "මහින්ද්‍රා  අයිඩියල් ෆිනෑන්ස්" ව්‍යාපාරය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇති අතර සමාගම ද ශ්‍රී ලංකාව තුළ ඉහළ මට්ටමකට ගෙන යනු ඇතැයි අප තරයේ විශ්වාස කරනවා.

    මෙහිදී මහින්ද්‍රා ෆිනෑන්ස් සතුව තිබෙන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 25ක විශේෂඥ දැනුම ප්‍රයෝජනයට ගැනීමට "මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස්" අදහස් කරනවා. එසේම ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් මූල්‍ය සේවා ව්‍යාපාරයක් ගොඩනැගීමට අයිඩියල් ෆිනෑන්ස්  හි වෙළඳපල දැනුම ද ඊට එක් කර ගැනීමට නියමිතයි. මෙලෙස සිය ව්‍යාපාරික විෂය පථය පුළුල් කිරීමෙන් මහින්ද්‍රා ෆිනෑන්ස් සිය සාර්ථක සහ සමාජීය ව්‍යාපාරික ආකෘතිය ශ්‍රී ලංකාව තුළ ප්‍රතිවර්තනය කිරීම අරමුණු කර සිටී. ඒ අනුව ඉන්දියාවට සංස්කෘතික හා භූගෝලීය වශයෙන් සමානකම් ඇති ශ්‍රී ලංකාව සහ එහි මූල්‍ය සේවා වෙළෙඳපොළ මහින්ද්‍රා ෆිනෑන්ස් සඳහා හොඳ අවස්ථාවක් ලෙස මතු වී තිබේ. ශ්‍රී ලංකාව මෝටර් රථ වෙළඳපොලක් ලෙස මහින්ද්‍රා සමූහය සඳහා උපායමාර්ගික වැදගත්කමක් දක්වන අතරම එය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මකවනු ලබයි..