මවුන්ට් ලෝටස් රෝහල සිය ප්‍රථම සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරයි

    February, 25, 2022

    ශ්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල,  පසුගිය වසරේ අගභාගයේදී නිල වශයෙන් විවෘත කිරීම සනිටුහන් කරමින් පසුගියදා ගල්කිස්ස රෝහල් පරිශ්‍රයේ දී සිය ප්‍රථම නොමිලේ පවත්වන ලද සෞඛ්‍ය කඳවුර සාර්ථකව නිම කරන ලදී.
    මවුන්ට් ලෝටස් රෝහලේ පළපුරුදු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුර තුළ රෝගීන් සිය ගණනකගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාවන් සිදු කරන ලදී- මූලික අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂණ වලට අමතරව, රෝගීන්ගේ රුධිර සීනි, රුධිර පීඩනය සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ද පරීක්ෂා කරන ලද අතර පසුව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබා දෙන ලදී. එදින සියලුම රෝගීන්ට ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණ උපකරණ සඳහා විශේෂ වට්ටම් ද ලබා ගත හැකි විය. රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ බලධාරීන් විසින් නියම කර ඇති  COVID-19 සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සෞඛ්‍ය කඳවුර පැවැත්විණි.මවුන්ට් ලෝටස් රෝහලේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය සමන් පී බස්නායක මහතා ප්‍රකාශ කළේ, “සෑමවිටම රෝගීන්ට ගුණාත්මක අක්ෂි සහ ශ්‍රවණ ප්‍රතිකාර ලබාදීම අපගේ රෝහලේ මූලික අරමුණයි. අප ප්‍රථම වතාවට පවත්වනු ලැබූ මෙම සෞඛ්‍ය කඳවුර මගින් රෝගීන් විශාල සංඛ්‍යාවකට ඔවුන්ගේ අක්ෂි සහ ශ්‍රවණ පරීක්ෂාවන් පමණක් නොව අනෙකුත් මූලික සෞඛ්‍ය පරීක්ෂාවන්ද සිදු කරගෙන අපගේ වෛද්‍ය විශේෂඥයින්ගෙන් උපදෙස් ලබා ගැනීමටද හැකියාව ලැබුණා. මෙම සෞඛ්‍ය කඳවුර සාර්ථකව පැවැත්වීමට සහාය දැක් වූ අපගේ කාර්ය මණ්ඩලයට මම ස්තූතිය පුද කරනවා”

    අංක 102, ගාලු පාර, ගල්කිස්ස, පිහිටා ඇති මවුන්ට් ලෝටස් රෝහල, දේශීය සහ විදේශීය රෝගීන් සඳහා ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත වෛද්‍ය විසඳුම් ලබා දීම සඳහා කැප වූ විශේෂිත රෝහලකි. ඕනෑම ආකාරයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ආබාධයක් සඳහා වෛද්‍ය සහ ශල්‍ය විසඳුම් ලබා දීමට නවීන තාක්ෂණයන් සහ ඉහළ පිළිගැනීමක් ඇති වෛද්‍ය මණ්ඩලයකින් රෝහල සමන්විත වේ. රෝගීන් හොඳින් රැකබලා ගැනීම සඳහා වසර ගණනක පළපුරුද්ද ඇති, ඉහළ සුදුසුකම් ලත්,  මිත්‍රශීලී සහායක කණ්ඩායමක්ද රෝහල සතු වෙයි- නවීන තාක්ෂණික උපකරණ භාවිතා කරමින්, ඉහළ ගුණාත්මක සත්කාරයක් සමඟින් පුළුල් පරාසයක අක්ෂි සහ උගුර, කන, නාසය ආශ්‍රිත ප්‍රතිකාර සේවාවන් රැසක් රෝගීන්ට ලබා දීමට ඔවුන්ට හැකි වේ.