April, 1, 2022
CL Synergy සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව වෙනුවෙන් 2022 මාර්තු 24 දින පවත්වන ලද අතථ්‍ය (Virtual) ආයෝජක සමුළුව සාර්ථක ලෙස අවසන් විය. රු. බිලියන 1.2 ක වටිනාකමකින් යුත් CL Synergy මූලික මහජන කොටස් නිකුතුව 2022 අප්‍රේල් 7 දින පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ආයෝජක සමුළුවට ආයෝජකයන් හා විශ්ලේෂකයන් ඇතුළු විශාල පිරිසක් එක් වූ අතර, එහිදී සමාගම පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීමටත් CL Synergy සමාගමේ නියෝජිතයන්ට අවස්ථාව ලැබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් CL Synergy සමාගමේ කළමනාකාර අධ්යක්ෂ රොෂාන් සිල්වා මහතා කියා සිටියේ, ආයෝජක සමුළුවෙහි සාර්ථකත්වය පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. තමන් අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඉහළ සහභාගීත්වයක් ඊට ලැබුණු බවත්, පුද්ගලයන් වෙතින් මෙන්ම ආයතන වෙතින්ද මෙම කොටස් නිකුතුව සම්බන්ධයෙන් විශාල උනන්දුවක් පළ වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. “ජනතාව මූලික කරගත් ව්‍යාපාරයක් වශයෙන්, අප පිළිබඳව තොරතුරු සෘජුවම ජනතාව වෙත ඉදිරිපත් කිරීමේ වැදගත්කම අප හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. සමුළුවට සහභාගී වූවන් සිදු කළ විමසීම් වලට පිළිතුරු ලබාදීම මටත් මගේ කණ්ඩායමටත් විශාල සතුටක් වුණා. මේ ඔස්සේ අපගේ සමාගම, එහි ව්‍යාපාර කටයුතු හා සම්ප්‍රදායන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට සියලුම දෙනාට ඉතා හොඳ අවස්ථාවක් ලැබෙන්නට ඇතැයි කියා අප සිතනවා. සමුළුවට සහභාගී වූ සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට අප කැමතියි. අපගේ නව හවුල්කරුවන් සමග සමාගමේ ඉදිරි ගමනේ මීළඟ අදියරට පිවිසීමට අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්.” රොෂාන් සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.
මෙම මූලික මහජන කොටස් නිකුතුව තුළ CL Synergy සමාගමේ කොටසක මිල රු. 14.00 ක් ලෙස නියම කර ඇති අතර, ඒ අනුව ඉදිරි මූල්‍ය වර්ෂය (2023) සඳහා පුරෝකථනය කරන ලද ඉපැයීම් මත පදනම්ව, අපේක්ෂිත මිල-ඉපැයුම් අනුපාතය (PER) 4.6X වේ. සමාගමේ ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්රයට සම්බන්ධ සේවාදායකයන්ගෙනි. මෙය සමාගමේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරන සාධකයක් බවට පත් වී තිබේ. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් සැලකිය යුතු මට්ටමේ මුදල් හා වෙනත් සම්පත් එකතුවක්ද සමාගම සතු වන අතර, මේ සියලු සාධක CL Synergy සමාගමේ ආයෝජකයන් හට අතිශයින් වාසිදායක වනු ඇත.
Acuity Partners (පුද්.) සමාගම මගින් කළමනාකරණය කරනු ලබන මෙම කොටස් නිකුතුවේදී කොටසක් රු. 14.00 බැගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 91,500,000 ක් නිකුත් කෙරෙන අතර, මේ ඔස්සේ මේ වනවිට විශාල ඉල්ලුමක් පවතින ක්ෂේත්රයක් වන කාර්ය සම්පාදන ක්ෂේත්රය නියෝජනය කරමින් කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන පුවරුවේ ලැයිස්තුගත වීම CL Synergy සමාගමේ අපේක්ෂාව වී තිබේ. ලොව උද්ගත වී පවතින තත්ත්වයන් හමුවේ රටවල් රාශියක් මේ වනවිට කාර්ය සම්පාදන ක්ෂේත්රය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කර ඇත. CL Synergy මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම් පත්‍රය වෙතින් https://ipo.clsynergy.com/ ලබාගත හැකි වේ.
මෙම මූලික මහජන කොටස් නිකුතුව මගින් අපේක්ෂිත ආදායම රු. 1,281,000,000 කි. මෙම මුදලින් සමාගමේ කාරක ප්රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළ වල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට සමාගම බලාපොරොත්තු වන බව සංස්ථා ප්‍රකාශයෙහි දක්වා ඇත.
2004 වසරේදී ආරම්භ වූ CL Synergy සමාගම උසස් ප්‍රමිතියෙන් යුත් විශ්වාසනීය සේවාවක් සපයන ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා සමාගමකි. සේවාදායකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන නම්‍යශීලී සේවාවන් කාර්යක්ෂම ලෙස, තරගකාරී මිලගණන් යටතේ සැපයීම සම්බන්ධයෙන් එම සමාගම විශාල ප්‍රසිද්ධියක් උසුලයි. මේ වනවිට කාර්ය සම්පාදන සහ ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්රයන්හි නියුතු හවුල්කාර සමාගම් කිහිපයක් සමග එක් වී තම ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමට CL Synergy සමාගම කටයුතු කර ඇති අතර, තවත් නැවුම් ආකාරයේ වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ.
Video Story