රුපියලේ බාල්දුවෙන් තෙල් මිල අඩුවීමේ වාසිය නැතිවෙයි?

    December, 14, 2015

    ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. ඊයේ දිනය වනවිට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35.62 දක්වා ද, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.93 දක්වා ද පහළ බැස තිබුණි. මේ අනුව 2003 වසරෙන් පසුව දක්නට ලැබුණු අඩුම බොරතෙල් මිල මට්ටම ලෙස මෙය වාර්තා වේ.

    2003 නොවැම්බර් මාසයෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 40 සීමාවෙන් මෙපිටට පැමිණ තිබෙන්නේ මෙම කාලයේ දීය. එම වකවානුවේ දී මෙරට වෙළෙඳපොළේ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල කියැවුණේ රුපියල් 53-55 ක් පරිද්දෙනි.

    එහෙත් එම කාලයේ දී ඇමරිකානු ඩොලරයක් සඳහා වූ විනිමය අනුපාතිකය මෙරට මුදල් ඒකකයෙහි වටිනාකමින් රුපියල් 97 ක් පමණ විය. මේ අනුව බලන කල පසුගිය වසර 12 ක පමණ කාලය තුළ දී මෙරට රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 50% කින් පමණ අවප්‍රමාණය වී ඇත. අද වන විට ඇමරිකානු ඩොලරයක් වෙනුවෙන් මෙරට මුදලින් රුපියල් 143 ක් පමණ ගෙවිය යුතුවේ.

    එබැවින් ලෝක වෙළෙඳපො‍ළේ තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට සාමාන්‍ය ජනතාවට ලැබීයාමට එරෙහිව අැත්තේ ඩොලරය හමුවේ රුපියල සීඝ්‍ර ලෙසින් බාල්දු වී තිබීමයි. මක් නිසාද යත් රුපියල අවප්‍රමාණය වීම හමුවේ තෙල් වෙනුවෙන් දැරිය යුතු ආනයනික වියදම් විශාල වශයෙන් අඩු නොවන හෙයිනි.

    මේ සම්බන්ධයෙන් පසුගිය දා ඛනිජ සම්පත් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කියා සිටියේ, ඉන්ධන සඳහා වන නව මිල සූත්‍රය ඉදිරියේ දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ඒ අනුව ලෝක තෙල් මිල පහළ යාමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බවත්ය. එහෙත් අදාළ මිල සූත්‍රය ක්‍රියාත්මක කරන දිනයක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ නොකිරීමට තරම් අමාත්‍යවරයා මෙහිදී වගබලා ගත්තේය.

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල 2003 වසරේ සිට මේ දක්වා හැසිරුණු ආකාරය පහත සටහනෙන් දැක්වේ.

    පහත දැක්වෙන්නේ 2004 වසරේ සිට මේ දක්වා කාලය තුළ දී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට රුපියලේ අගය තීරණය වූ අයුරුයි.

    ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 1990 සිට වෙනස් වූ අයුරු පහත දැක්වේ.

    (*2013 නොවැම්බර් දක්වා මෙරට අලෙවි කෙරුණේ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් වන අතර එතැන් සිට එම මිලටම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙරට තුළ අලෙවි කිරීමට අදාළ ආයතන පියවර ගන්නා ලදී.)