• Ada Derana BIZ Sinhala
  • ICC
  • MAS
  • sri lanka
  • T20
  • World Cup

MAS විසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කළ ICC පිරිමි T-20 ලෝක කුසලාන ජර්සිය නිල වශයෙන් එළිදක්වයි

October, 1, 2022

දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් තාක්ෂණ නිෂ්පාදකයා වන MAS Holdings මේ වසරේ ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ (ICC) පිරිමි T-20 ලෝක කුසලානයේ දී ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම විසින් යොදා ගන්නා නිල ක‍්‍රිකට් ජර්සිය හදුන්වා දුන්නේය. 2022 සැප්තැම්බර් 30 වන දින ජර්සි නිර්මාණය කර නිෂ්පාදනය කරන කටුනායක MAS Active Nirmaana හි පැවති උත්සවයකදී MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් සහ MAS Active හි ප‍්‍රධාන විධායක නිලධාරී චෙලාන් ගුණතිලක යන මහත්වරුන් විසින් ශ‍්‍රී ලංකා T-20 ලෝක කුසලාන නායක දසුන් ශානක සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා වෙත ජර්සිය භාර දෙන ලදී.

2005 වසරේ සිට MAS විසින් SLC සමඟ විශ්වාසනීය සබඳතාවක් ගොඩනඟා ගනිමින් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතාව ඉහළ නැංවීම සඳහා සුවපහසුව සහ ක‍්‍රියාශීලිත්වය වැඩිදියුණු වන අන්දමින් ජාත්‍යන්තර මට්ටමේ කී‍්‍රඩා ඇඟලූම් සැලසුම්කර නිෂ්පාදනය කරයි. MAS විසින් 2005-2008 දී ජාතික ජර්සි සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත කෘතිම රෙදි, 2012 දී සැහැල්ලූ ක‍්‍රීඩා නිශ්පාදනය සහ sublimation මුද්‍රණය සහ 2014 දී දහඩිය දැමීම අවම කරන දැල් රෙදි සහ සිදුරු සහිත ලේසර් ඇතුළු නව නිෂ්පාදන තාක්ෂණයන් හඳුන්වා දී ඇත. 2014 වසරේ සිට MAS ලද අත්දැකීම් තුළින් ජර්සියේ භාහිර පෙනුම වැඩිදියුණු කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති අතර ඒ තුළින් ඇඳුමට වැඩි ආකර්ෂණීය බවක් ගෙන දෙයි. 2022 ආසියානු කුසලානයේ දී කණ්ඩායම ශූරයන් බවට පත් වූ අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර ඇත.

2022 ICC T-20 ලෝක කුසලානයට පෙර ක‍්‍රීඩකයන්ගේ අදහස වූයේ දහඩිය දැමීම හේතුවෙන් ශරීරයට ඇලෙන ඇඳුම් සමඟ ක‍්‍රීඩා කිරීම දුෂ්කර බවයි. ඔක්තෝම්බර් මාසයේදී ඉහළ ආර්ද්‍රතා මට්ටමක් ඇති ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩාංගණවල පාරිසරික තත්වයන් තක්සේරු කර කාලගුණ රටා, උෂ්ණත්වය සහ මිනිස් සිරුරේ දහඩිය ග‍්‍රන්ථි පිළිබඳ පර්යේෂණ කිරීමෙන් පසු මෙම නවතම ජර්සිය MAS Active කණ්ඩායම විසින් නිර්මාණය කරන ලදී. MAS Active විසින් ක‍්‍රීඩකයාගේ නැවුම් බව සහ සුවපහසුව සඳහා දහඩිය වේගයෙන් වාෂ්ප කිරීමට හැකි රෙදි නිපදවන ලද අතර මෙය දැනට පවතින wicking සහ තෙතමනය කළමනාකරණ තාක්ෂණයට අමතරව සුවපහසු බව පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද සැහැල්ලූ, ඉහළ අවශෝෂක හැකියාව සහිත, ඇදෙන සුළු රෙදි භාවිතා කරමින් නිර්මාණය කර ඇත.

"ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඉහළ කාර්ය සාධනයක් සහිත ක‍්‍රීඩා ඇඟලූම් සැපයීම MAS අපගේ අරමුණයි.” යනුවෙන් චෙලාන් ගුණතිලක මහතා පැවසුවේය.

"T20 ලෝක කුසලානය ශ‍්‍රී ලංකා මාතාව වෙත ගෙන ඒම සඳහා තරඟ කරන අපේ කී‍්‍රඩකයින් වෙනුවෙන් MAS හි ශිල්පීය හැකියාවන් සහ තාක්ෂණය තුළින් ජාත්‍යන්තර මට්ටමේ ඇඟලූම් නිර්මාණය කරනවා. එම ජර්සිය ඔවුන් වෙත එන්නේ සියලූම ශ‍්‍රී ලාංකිකයින්ගේ සුබ පැතුම් සහ බලාපොරොත්තු කැටි කරගෙනයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

MAS විසින් සාගර ප්ලාස්ටික් සහ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමේ අවශ්‍යතාවය වැනි වැදගත් කරුණු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍යක් ලෙස වසර ගණනාවක් පුරාවට SLC ජර්සිය භාවිතා කර ඇත. 2019 සහ 2021 දී MAS විසින් ICC ලෝක කුසලාන ජර්සි නිෂ්පාදනය කළේ සාගර ප්ලාස්ටික් සහ දිවයින පුරාවෙන් එකතු කරන ලද ප‍්‍රතිචක‍්‍රීයකරණය කල ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කරමිනි. මෙම වසරේ ජර්සිය නිර්මාණය කර ඇත්තේ වනාන්තර විනාශ කිරීම, ග්ලැසියර දියවීම සහ පශු සම්පත වැනි විස්තරාත්මක අංග ඇතුළත් වන පරිදිය. ඊට අමතරව ශ‍්‍රී ලංකාව වැනි ූපත් සඳහා මුහුදු මට්ටම ඉහළ යාමේ බලපෑම, උෂ්ණත්වය ඉහළ යාම සහ ආන්තික කාලගුණික රටා වැනි ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම් පිළිබඳව ද එමඟින් ඉස්මතු කරයි.

ලොව පුරා සිටින බොහෝ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ප‍්‍රමිතිගත කී‍්‍රඩා ඇඟලූම් සපයන MAS හි ඇඟලූම් තාක්ෂණය සහ නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ සදාචාරාත්මක නිෂ්පාදන පිළිවෙත් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල වේ.