• Ada Derana BIZ Sinhala
  • DONG-EUI
  • KOICA
  • sri lanka

KOICA සහ DONG-EUI විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩමුළුවක් පවත්වයි

October, 24, 2022

කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (KOICA) විසින් දකුණු කොරියාවේ DONG-EUI විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් අපනයන උපායමාර්ග, වෙළඳපල සමීක්ෂණ සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහනක්, සැප්තැම්බර් 18 සිට 30 දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන් විසිතුන්දෙනෙක් (23) උදෙසා සාර්ථකව පවත්වන ලදී.  

මෙම වැඩසටහනේ අරමුණු වූයේ වෙළඳ ගනුදෙනු සම්බන්ධ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා දීම, දකුණු කොරියාවේ වෙළඳ ප්‍රවර්ධන ප්‍රතිපත්තිවලින් දැනුම සහ අවබෝධය ලබා ගැනීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරවල වෙළඳාම සහ  මෑත කාලීන තාක්‍ෂණික ප්‍රවණතා පිළිබඳ දැනුම ලබා ගැනීමයි.

DONG EUI විශ්වවිද්‍යාලයේ විද්වතුන් සහ බාහිර සම්පත් දායකයින් විසින් සහභාගිවන්නන්ට ගෝලීය අපනයන උපාය මාර්ග, ගෝලීය රක්ෂණය, ගෝලීය අලෙවිකරණ උපාය මාර්ග, අපනයන සමාගම්වලට සහාය දැක්වීමේ පියවර, ගෝලීය මූල්‍ය ගැටලු, පරිසරය, වෙළඳාම සහ තිරසාර සංවර්ධනය මෙන්ම ව්‍යාපාරික ප්‍රවණතා සහ සිව්වන කාර්මික විප්ලවය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී. තවද, දකුණු කොරියාව ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදන සපයන්නෙකුගේ සිට ප්‍රමුඛ පෙළේ ගෝලීය නිෂ්පාදන අපනයනකරුවෙක් බවට පත්වීම පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දැනුවත් කෙරිණි.

සහභාගිවන්නන්ගේ ක්ෂේත්‍ර අත්දැකීම් හයුන්ඩායි මෝටර් සමාගම (Hyundai Motor Company), Busan බූසාන් වරාය අධිකාරිය (Busan Port Authority) සහ බූසාන් ප්‍රාදේශීය රේගුව (and Busan Regional Customs) වෙත මෙන්ම Gyeongju Golden City, Haedong Yongkungsa Temple සහ Gyeongu Bulguksa Temple යනාදී සංස්කෘතික චාරිකා වලින් සමන්විත විය.

වැඩසටහන අවසානයේදී, සහභාගීවූවන් කණ්ඩායම් හතරක් යටතේ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ප්‍රගමනයට අදාළ ව්‍යාපෘති සංකල්ප පත්‍රිකා හතරක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී හොඳම ව්‍යාපෘති සංකල්ප පත්‍රිකාව ලෙස, ඇසුරුම් ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධනය සඳහා පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පත්‍රිකාව තෝරා ගැනිණි.

පුහුණුවට සහභාගි වූ නිලධාරීන් අපනයන ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රැස්කරගත් දැනුම ධාරිතාවය වැඩිදියුණු කිරීම සඳහා සෙසු කාර්ය මණ්ඩලය වෙත ද ලබාදෙනු  ඇත. තවද, ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සංවර්ධනයට අදාළ ව්‍යාපෘති යෝජනා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සඳහා සලකා බැලීමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින්  KOICA වෙත ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සේවකයින්ගේ දැනුම සහ කුසලතා ඉහළ නැංවීම සඳහා ලබා දුන් වටිනා අවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ අපනයන සංවර්ධන මණ්ඩලය  KOICA සහ DONG-EUI විශ්වවිද්‍යාලයට සිය කෘතඥතාවය පළකරයි.