ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනයට වැට බඳී. පාලනයට විශේෂ නිලධාරියෙක්

    October, 26, 2022

    මෙරට රබර් මිල පහළ මට්ටමක පැවතීමට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති ප්‍රමාණය ඉක්මවා රබර් ආනයනය සීමා කිරීමට නිදේශ කරමින් රබර් ආනයනය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ කමිටු වාර්තාව එළි දැක්වෙයි. අදාළ වාර්තාව අද (26) මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත ඉදිරිපත් කෙරිණි. මෙම වාර්තාව මගින් දේශීය වගාකරුවා ආරක්ෂා කර ගැනීමට කෙටි කාලීන සහ මධ්‍ය කාලීන වශයෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ අනුව,

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය නොකරන රබර් වර්ග හැර සෙසු රබර් වර්ග ආනයනය කිරීමේ දී සීමා පැනවීම,

    ආයෝජන මණ්ඩලය විසින් කර්මාන්ත ශාලා සඳහා රබර් ආනයනය කිරීමට ලබා දෙන බලපත්‍ර හෝ අවසරයන් සතිපතා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය වෙත වාර්තා කිරීම,

    ලෝක වෙළෙඳපොළේ රබර් මිල හා සංසන්දනාමකව මෙරට රබර් සඳහා හොඳ මිලක් ලබා දීමට අවශ්‍ය දර්ශකයක් ඇති කර ගැනීම,

    වත්මන් දේශීය රබර් මිල, නිෂ්පාදනය ආදී දත්තයන් අදාළ ආයතන සමග නිතිපතා හුවමාරු කර ගැනීමට අදාළව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් විශේෂ නිලධාරියකු පත් කිරීම,

    අදාළ ආයතන මගින් සතිපතා ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යාංශය සමග මාසික ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීම,

    මීට පෙර මෙරට සිදු කළ තාක්ෂණික රබර් නිෂ්පාදනය යළි ආරම්භ කිරීමට අදාළ පියවර ගැනීම යන කරුණු අදාළ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.

    මීට අමතරව දෙසැම්බර් 15 වැනි දින අදාළ කමිටුව යළි රැස්වී මෙම නිර්දේශයන්හි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

    මුදල් අමාත්‍යාංශයේ, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම කමිටුව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, ආයෝජන මණ්ඩලය, රබර් පර්යේෂණ ආයතනය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විතය.

    Video Story

    Stock Market

    Exchange Rates