November, 8, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (08) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකට භාජනය විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.03 කින් හෙවත් 2.64%කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 66.60 කින් හෙවත් 2.58% කින් අද දිනය තුළ පහළ යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,267.77 ක් සහ S&P SL20 දර්ශකය ඒකක 2,518.83 ක් ලෙසින් සටහන් වී තිබුණි.
එක්ස්පෝලංකා හෝල්ඩිංගංස්, වැලිබල් වන්, හේලීස්, ලංකා IOC සහ රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් බලපා තිබේ.

රු. බිලියන 1.12 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.03 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.11 ක් ලෙසින් සටහන්ව ඇති අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 91 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 8.83 ක් ලෙසින් වාර්තා වී තිබේ.
මේ අතර අද දිනය අවසානයේ දී සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු. 3,660,159,321,159 ක් ලෙසින් සටහන්ව තිබේ.
පූර්ව ගනුදෙනු දිනයේ දී එනම් පසුගිය නොවැම්බර් 04 දින ගනුදෙනු අවසානයේ දී එම අගය සටහන් ව තිබුණේ රු. 3,756,504,646,467 ක් ලෙසිනි.
මේ අනුව අද දිනය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රු. 96,345,325,308 කින් අඩු වී තිබේ.
මෙය වෙනත් ආකාරයටකට කිවහොත් අද දිනය තුළ දී පමණක් කොටස් වෙළෙඳපොළට අහිමි වී ඇති වටිනාකම රු. බිලියන 96.34 ක් හෙවත් රු. කෝටි 9,634 ක් වේ.
කෙසේවෙතත් මෙම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාතය (P/E Ratio) සටහන්ව ඇත්තේ 4.81 ක් ලෙසයි. එය ආයෝජනයට ඉතා ආකර්ෂණීය අගයයක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අදහසයි.
Video Story