• Acting Finance Minister
  • Ada Derana BIZ Sinhala
  • sri lanka
  • Sugar tax

සීනි බදු සහනය හේතුවෙන් අහිමි වූ රු. බිලියන 16න් 24%ක් ආදායම් බදු ලෙස අයකර ගැනීමට පියවර – වැඩ බලන මුදල් ඇමති

November, 9, 2022

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අයකර ගැනීමට සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමේ හැකියාව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා අද (09) මේ බව කියා සිටියේය.

2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝ ග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවැති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි. එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැපකළ ආදායම රුපියල් කෝටි 1,776ක් ලෙස ගණන් බලා ඇත. එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනාගෙන ඇති අතර ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45% ක් ආනයනය කර තිබේ. පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණ අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දෙයි.

දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. පවතින නීති තත්ත්වයන් යටතේ අය කර ගත හැකි මෙම මුදල අය කර ගැනීමට සහය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවලින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

සියඹලාපිටිය මහතා වැඩි දුරටත් කියා සිටියේ ඉදිරියේ දී මෙවැනි හදිසි බදු අඩු කිරීම් පිළිබඳ තීරණ සියලු පාර්ශ්වය සමග සාකච්ඡා කිරීමකින් තොරව සිදු නොකිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බවයි.

Video Story

Stock Market

Exchange Rates