2023 අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ

    November, 10, 2022

    2022 නොවැම්බර් මස 14 වැනි සඳුදා මුදල් අමාත්‍යවරයා විසින් 2023 වර්ෂය සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (නොවැ. 10) නිවේදනය කළේය.

    ඒ අනුව, 2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ම, මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

    අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කෙරෙන 14 වැනි දින මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරන අතර, මෙදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේදී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙසද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවනු ලබන බවද කථානායකවරයා දන්වා සිටියේය.

    මීට අමතරව, මෙදින රථ වාහන පොලීසිය සහ අවට පොලිස් ස්ථාන මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.එසේම ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව ද කථානායකවරයා දන්වා සිටියේය.

    Video Story

    Stock Market

    Exchange Rates