November, 15, 2022
ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය රැගෙන උඩුගම් බලා පිහිනමින් සිටින මොහොතක ඊට ධෛර්ය ලබා දෙමින් ජනතාව ජීවත් කරවීමේ වගකීම සියලු පාර්ශ්වයන්ට ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එවැනි තත්ත්වයකින් මුදාගෙන රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා වන වැඩපිළිවෙළ 2023 අයවැය තුළ අන්තර්ගත බවයි හෙතෙම පෙන්වා දෙන්නේ. සියලු පාර්ශ්වය රට භාර ගැනීමේ වගකීමෙන් කර අරිද්දී රනිල් වික්‍රමසිංහ මහතා තනි මන්ත්‍රී ආසනයක් සහිතව එම අභියෝගය භාර ගත් බව අමාත්‍යවරයා කියා සිටියේ ය. අයවැය විවාදයේ ආණ්ඩු පක්ෂයේ පළමු කතාව ඉදිරිපත් කරමින් සියඹලාපිටිය මහතා අද (15) මේ අදහස් පළ කළේ ය.
“අතිශයින් රෝගී වුණු ශ්‍රී ලංකාවේ ආර්ථික දේහය රැගෙන අපි මේ උඩුගම් බලා පීනන්නෙ. අපි යම් පියවරක් ගත්තම ඒ පියවරේ තවත් පැති කිහිපයක් තියෙනවා. අපි ඉන්නෙ ආර්ථික ප්‍රශ්නෙක නෙවෙයි අර්බුදයක. ඒ නිසා කෙනෙකුට හරි පහසුයි යම් යම් අඩු පාඩුකම් පෙන්නල විවේචනය කරන්න. නමුත් අපි එකින් එකට මේව විසඳාගෙන යන්න ඕනෙ. අපි මේ දැනට අනුගමනය කරන බදු ප්‍රතිපත්තිය සර්ව කාලීන සදාකාලික බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. මේ බදු මුදල් හොයන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොදි බැඳල දෙන්න නෙවෙයි. මේ රටේ අවශ්‍යතාව සඳහා යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට මෙවර යෝජනා වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ එමගින් අයවැය යෝජනා කතාවකට පමණක් සීමා නොවනු ඇති බවයි.
අයවැය යෝජනා ක්‍රියාත්මක වීමේ දී ඒ සඳහා බාහිර කරුණු කිහිපයක් ද බලපානවා. එකක් තමයි ජනතා අවබෝධය. ඒකෙ ලොකු වගකීමක් විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලටත් තියෙනවා. මාධ්‍යවේදී සහෝදරයන්ටත් තියෙනවා. මේ යෝජනාවල හරි නිර්වචන ජනතාව වෙත රැගෙන යාමේ වගකීම මේ හැමෝටම තියෙනවා. මොකද උඩුගම් බලා පීනද්දි ආර වැරැදියි, පස්සට යනවා කියල විවේචන කරන්න පුළුවන් හැමෝටම. අඩියට වැටිල ගැඹුරුම පතුලෙ ඉන්න රටක් මේක. ඒ කියන්නෙ මේ අයවැයේ හැම දෙයක් ම හොඳයි කියල කියන එක නෙවෙයි. නමුත් සාම්ප්‍රදායික විපක්ෂයක් වෙලා, සාම්ප්‍රදායික මාධ්‍යවේදීන් වෙලා සාම්ප්‍රදායික විවේචන ඉදිරිපත් කිරීම නොකළ යුතු යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.
2023 අයවැය ඇතැමුන් හඳුන්වන ආකාරයේ පුස් ලියැවිල්ලක් නොවන බව අවධාරණය කළ අමාත්‍ය සියඹලාපිටිය මහතා ජාත්‍යන්තර බලපෑමක් අයවැයට එල්ල වී ඇතැයි යන චෝදනාව ද ප්‍රතික්ෂේප කළේ ය. සෑම මන්ත්‍රීවරයකුට ම ආදායම් බදු ගොනුවක් විවෘත කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙන දිනයේ දී ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.
Video Story