ජර්මනියේ සැපයුම්දාමවල සාමූහික වගකීම් සම්බන්ධ නව පනත පිළිබඳ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ට පුහුණුවක්

    November, 22, 2022

    අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත ආයතනය (AHK) සහ Friedrich Naumann Foundation for Freedom (FNF) සම සංවිධානත්වයෙන් 2023 ජනවාරි පළමුවන දින සිට ජර්මනියේ බලාත්මක වීමට නියමිත “සැපයුම්දාමවල සාමූහික වගකීම පිළිබඳ නව ජර්මානු පනත”  පිළිබඳ දැනුවත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නිලධාරීන් සඳහා සහතික පත් ප්‍රදානය අද දින (2022.11.22) සිදු කරන ලදි.

    මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ  2023 ජනවාරි මස සිට ජර්මනිය විසින් පැනවීමට නියමිත නව නීතිය පිළිබඳව අපනයන ප්‍රජාව දැනුවත් කිරීමයි. 2023 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ජර්මානු ෆෙඩරල් රජය විසින් පැනවීමට නියමිත සැපයුම් දාමවල සාමූහික වගකීම් පිළිබඳ ජර්මානු පනතට අනුව සියලුම ජර්මානු සමාගම් ඔවුන්ගේ සැපයුම් දාමය තුළ මානව හිමිකම් සහ පරිසරය සුරැකීමේ නීති රීතිවලට හා එම කොන්දේසිවලට නිසි ආකාරයෙන් අනුගතවීමට ද බැඳී සිටිය යුතුයි. මෙම සමාගම් තම සමස්ත සැපයුම් දාමය පුරාම මානව හිමිකම් සහ පාරිසරික ආරක්ෂාව තහවුරු කළ යුතුයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ජර්මනියට අපනයනය කරන සැපයුම්කරුවන්ට මානව හිමිකම් සහ පරිසරය සුරැකීමට අදාල කොන්දේසිවලට සහ ඊට අදාලව ජර්මනියේ ආනයනකරුවන් විසින් ඉල්ලා සිටිය හැකි අනෙකුත් කොන්දේසි පිළිපැදීමට සිදුවේ. ප්‍රායෝගිකව මින් ඇඟවෙන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් විනිවිදභාවයෙන් යුතුව තම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට මෙන්ම මානව හිමිකම් සහ පරිසරය සුරැකීමේ කොන්දේසිවලට අනුකූලව කටයුතු කිරීමට ද සූදානම් විය යුතු බවයි.

    උත්සවය අමතමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක සුරේෂ් ද මෙල් මහතා ප්‍රකාශ කළේ, ජර්මනියේ සැපයුම් දාමවල සාමූහික වගකීම පිළිබඳ නව පනතට අනුකූලව අපනයනකරුවන් සඳහා මෙම නීතිය පිළිබඳව දැනුවත් කිරීමට සහ අවශ්‍ය මග පෙන්වීම ලබා දීමට අපනයන සංවර්ධන මණ්ඩලය සූදානම් බවයි.

    යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳපොල වන අතර, ජර්මනිය යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සඳහා වන ප්‍රධාන වෙළඳපොල වන බැවින්, 2023 දී බලාත්මක වන සැපයුම් දාමවල සාමුහික වගකීම් පිළිබඳ ජර්මානු පනතට අදාළ කොන්දේසිවලට අනුකූල වීමට ශ්‍රී ලංකා සමාගම් සූදානම් වීම ඉතා වැදගත් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates