• Ada Derana BIZ Sinhala
  • champions
  • Colombo South
  • Prima
  • sri lanka
  • Under-15 Sri Lanka Youth League

15න් පහළ ප්‍රීමා ක්‍රිකට් ශූරතාව කොළඹ දකුණට

December, 6, 2022

මෙරට අනාගත ක්‍රිකට් තරු සෙවීම උදෙසා ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කොළඹ දකුණු පිල දිනා ගැනීමට පසුගිය දා සමත්විය. කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේ දී 2022 නොවැම්බර් මස 29 වනදා පැවැති ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී මූලික වටයේ අපරාජිතව අවසන් මහා තරගයට පිවිසි කොළඹ උතුර පිල කඩුලු 3කින් පරාජයට පත් කරමින් කොළඹ දකුණු ක්‍රීඩකයෝ මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කළහ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ උතුර පිල ඕවර් 50කදී කඩුලු 8කට ලකුණු 148ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණු පිලඕවර් 45.5 කදී කඩුලු 7කට ලකුණු 151ක් ලබා ජය තහවුරු කර ගත්තේය.

ප්‍රීමා සමාගම 12 වසරක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩකයන් හඳුන්වා දීමෙහිලා ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරනු ලැබීය. දිවයින පුරා ගම් දනව් සිසාරා විසිරී සිටින දක්ෂ ක්‍රීඩකයන්ට ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලිය ජාතික මට්ටමේ දස්කම් දැක්වීමට මනා තෝතැන්නකි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දීප්තිමත් ක්‍රීඩකයන් රැසකගේ ද පළමු ජාතික ක්‍රිකට් ක්‍රීඩා අත්දැකීම ප්‍රීමා කුසලාන ක්‍රිකට් තරගාවලිය වන අතර එදා මෙදාතුර ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ප්‍රීමා සමාගම නිහඬ මෙහෙවරක් සිදුකොට ඇත.

ප්‍රීමා සන්නාමය හා දේශී ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය අතර ඇති සබඳතාවය පිළිබඳ ප්‍රීමා ශ්‍රී ලංකා සමූහය වෙනුවෙන් අදහස් දැක්වූ සිලෝන් ඇග්‍රො ඉන්ඩස්ට්‍රීස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා “පාසැල් මට්ටමේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කරමින් ඔවුන්ට ජාතික තලයට පැමිණෙන්නටත්, එතැනින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් අත්පත් කරදෙන්නටත් වයස අවුරුදු 15 න් පහළ ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගය වැනි ක්‍රිකට් තරගාවලි සංවිධානය වැදගත් වෙනවා. මෙවර පැවැත්වුණ ශ්‍රී ලංකා යූත් ක්‍රිකට් ලීගයටත් පසුගිය 12 වසරක් තිස්සේ සංවිධානය කෙරුණු තරුණ ක්‍රිකට් තරගාවලි සඳහාත් ප්‍රීමා අපගේ දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ අවස්ථාවේ මගේ ගෞරවනීය කෘතඥතාවය පිරිනමනවා. ඉදිරියේදීත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ප්‍රීමා අපගේ උපරිම දායකත්වය ලබාදෙන්නට බලාපොරොත්තුවෙනවා.

අවසන් මහා තරගයේ වාර්තාවූ එකම අර්ධ ශතකය රැස් කළ කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා පන්දු 100කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 61ක් ලබා ගැනීම මෙම තරගයේ ජයග්‍රහණයටප්‍රබල දායකත්වයක් සැපයීය. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි හිරුක හා මැද පෙළ පිතිකරු තෙවිඳු වේවැල්වල 5වැනි කඩුල්ලට ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත්වීම මෙමතරගයේ හැරවුම් ලක්ෂය විය. තෙවිඳු පන්දු 59කදී ලකුණු 20ක් ලබා අනගි සහයක් ලබා දුන්නේය.

කොළඹ දකුණු පිලේ කොෂේන්ද්‍ර ප්‍රනාන්දු පිට පිට හතරේ පහර දෙකක් එල්ලකරමින් තරගයේ නිමාව සනිටුවහන් කළ අතර ජයග්‍රහණය වාර්තා වෙද්දී කොෂේන්ද්‍ර නොදැවී ලකුණු 10ක් හා යසිඳු දිසානායක නොදැවී ලකුණු 9ක් ලබා සිටියහ.

කොළඹ උතුරු පිල ආරම්භයේ සිටම අසීරුවේ දැමීමට කොළඹ දකුණු පන්දු යවන්නන්සමත් වූ අතර, ඔවුන්ගේ පළමු කඩුලු 6ක් ලකුණු 51කට දැවී ගියේය. අනතරුව එක් වූඅංක 7 හා අංක 8 පිතිකරු යුගලය 7වැනි කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවක් එක්කිරීමෙන් ලකුණු පුවරුව අංක තුනකින් සමන්විත විය. රචින්ත සිල්වා පන්දු 73කදීහතරේ 2ක් හා හයේ 2ක් සමග ලකුණු 35ක් ලැබූ අතර, ඔෂධ පමුදිත පන්දු 85කදීහතරේ පහර 4ක් සමල ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් විය.

කොළඹ උතුරු පිලට තර්ජනයක් ගෙනදුන් රෂාන් නවංජන කඩුලු 3ක්, තෙනූෂ යාපා ලකුණු 30කට කඩුලු 2ක් හා හිමරු දේෂාන්, කොෂේන්ද්‍ර පුනාන්දු කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

අවසන් තරගයේ වීරයා සම්මානය කොළඹ දකුණු පිලේ හිරුක සිල්වා දිනාගත් අතර, තරගාවලියේ දක්ෂතම පිතිකරු තරග 4කදී ලකුණු 162ක් ලැබූ පබසර දිසානායක (දඹුල්ල), තරගාවලියේ හොදම පන්දු යවන්නා තරග 3කදී කඩුලු 8ක් බිඳ හෙලූ දිනූජ සමරරත්න (කොළඹ උතුර) හා තරගාවලියේ වීරයා ලකුණු 68ක් හා කඩුලු 9ක් බිඳ හෙලූ දමේෂ් මතිෂාන් (දඹුල්ල) සම්මාන දිනා ගත්හ.

කොළඹ උතුර පිල කඩුලු 8කට ලකුණු 148යි (ඕවර් 50) තබීත් රිෆ්රිකාර් 13, ෂාන් අබේරත්න 10, රචින්ත ද සිල්වා 45, ඹෂධ පමුදිත 35, අතරේක 15 (තෙනූෂ යාපා 30/2, රෂාන් නවන්ජන 20/3, හිමරු දේෂාන් 13/1, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු 35/1)

කොළඹ දකුණු පිල කඩුලු 7කට ලකුණු 151 යි (ඕවර් 45.5) හිරුක සිල්වා 61, ලෂේන් ප්‍රනාන්දු 14, තෙවිඳු වේවැල්වල 20, මෙෂොන් ෆර්ඩිනැන්ඩූ 12 , කොෂෙන්ද්‍ර පුනාන්දු නොදැවී 10 (කිත්ම සිත්මාල් 21/2, ළහිරු ලක්මාල් 25/2, නවිදු රොද්‍රිගූ 14/1, රසිත් නිම්සර 30/1, ඔෂධ පමුදිත 24/1)