December, 15, 2022
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කඩා වැටීමක් අද (15) දිනයේ දී වාර්තා විය. ඒ අනුව දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 56.79 කින් හා S&P SL20 දර්ශකය ඒකක 30.84 කින් පහළ යන ලදී. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,813.84 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,809.72 ක් ලෙසින් ඒ අනුව වාර්තා වී තිබුණි.
රු. බිලියන 2.27 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ රු. මිලියන 608.52 ක විදේශීය මිල දී ගැනීම් දිනය තුළ වාර්තා වී තිබීමයි. එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් මිලියන 2.45 ක් රු. 210 බැගින් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් ලෙස අද දින හුවමාරු වී තිබුණු අතර විදේශීය මිල දී ගැනීම් වටිනාකම ඉහළ යාමට එමඟින් වැඩි දායකත්වයක් ලැබී තිබුණි.
දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.66 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.21 ලෙසින් වාර්තා වී තිබේ.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස් හිමියා වන SG HOLDINGS GLOBAL PTE.LTD විසින් එම සමාගමේ කොටස් මිල දී ගැනීම, මෙලෙස විදේශීය මිල දී ගැනීම ඉහළ යාමට හේතුවී තිබේ. ඊයේ (14) දිනයේ දී ද එක්ස්පෝලංකා කොටස් ගනුදෙනු හරහා රු. බිලියන 1.57 ක ශුද්ධ විදේශීය ගලා ඒමක් වාර්තා වී තිබුණි.
මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, LOLC හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ වැලිබල් වන යන සමාගම්වල කොටස් මිල පහළ යාම් දැඩි ලෙස බලපා තිබෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දේ.

Video Story