December, 21, 2022
ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය, එංගලන්තයේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ අනුග්‍රහය ඇතිව ලංකා නැව් සංස්ථාව යටතේ 1987 වර්ෂයේදී ස්ථාපිත කර ඇති අතර පූර්ණකාලීන සාමාජිකයන්ගෙන් (Fellow Members) හා ආශ්රිත සාමාජිකයන්ගෙන් (Associated Members) සමන්විත වේ.
මෙහි ප්‍රධාන අරමුණ, නැව් තැරැව්කරුවන්ගේ වෘත්තීය නිපුණතාවය තහවුරු කිරීම හා වෘත්තීය නිපුණතාවය ඉහළ නැංවීම වේ.
එසේම, අධ්‍යාපනික වැඩසටහන්, සම්මන්ත්රණ සහ වැඩමුළු මඟින් සාමාජිකයන්හට ක්ෂේත්රයේ වෘත්තීය පුහුණු නිපුණතාව ප්‍රවර්ධනය කර ගැනීමට සහ එම ක්ෂේත්රය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව සඳහා පුහුණුවීමට අවස්ථා සලසා දීම ද එම ආයතනයේ අරමුණු අතර වේ.
එහි කටයුතු වඩාත් විධිමත්ව හා ඵලදායීව පවත්වාගෙන යාම පිණිස පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
එකී පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52(6)හි විධිවිධාන පරිදි එකී පනත් කෙටුම්පත නිර්දේශ කරමින් පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story