• Ada Derana BIZ Sinhala
  • palm oil
  • sri lanka

පාම් තෙල් වල සැබෑ අගය අප වටහා නොගන්නේ ඇයි?

December, 21, 2022

පදනම් විරහිත ප්‍රතිපත්ති නිසා ශ්‍රී ලංකාවට අහිමි වන මහඟු සම්පතක්

ලෝකයම ඔයිල් පාම්(කටු පොල් වගාව) වැනි ඵලදායී සහ ආර්ථික වශයෙන් වැදගත් භෝග වගා කර තම ආර්ථිකයන් ශක්තිමත් කරගැනීමට උත්සාහ දරමින් සිටින යුගයක ශ්‍රී ලංකාව හිතාමතාම ඔයිල් පාම් වගාව සහ එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ අහිමි කරගනිමින් සිටී.

පාම් තෙල් හුදෙක් ඉවුම් පිහුම් වලට පමණක් නොව, මාජරින්, බිස්කට්, රසකැවිලි, බේකරි නිෂ්පාදන ආදිය සඳහා මෙන්ම ආහාර නොවන නිෂ්පාදන වර්ග රැසක් සඳහාද භාවිතා වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික එළවලු තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 250,000 ක් පමණ වන නමුත් මෙරට තුළ වසරකට නිෂ්පාදනය කෙරෙනුයේ එළවලු තෙල් මෙට්‍රික් ටොන් 50,000 ක පමණ ප්‍රමාණයකි. මේ නිසා ශ්‍රී ලංකාවට එළවලු තෙල් ආනයනය සඳහා විශාල වශයෙන් විදේශ විනිමය වැයකිරීමට සිදු වී තිබේ. රටේ එළවලු තෙල් ඉල්ලුම දේශීය නිෂ්පාදන වලින් සපුරා ගත හැකි නම්, වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 27 ත් 44 ත් අතර ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි ගණන් බලා ඇත.

එහෙත් අවාසනාවකට, එළවලු තෙල් අතරින් වැඩිම ඵලදාවක් ලබාදෙන භෝගය වන ඔයිල් පාම් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිවැරදි අවබෝධයක් නොමැත. කිසිදු සොයාබැලීමකින් තොරව, පාම් තෙල් සම්බන්ධ මිථ්‍යාවන් විශ්වාස කිරීමට ජනතාව පෙළඹී සිටී.

මෙම පදනම් විරහිත අදහස් නිසාම රජයද ඔයිල් පාම් වගාව තහනම් කිරීමට පෙළඹී ඇත. මෙය සිදු වී ඇත්තේ, ඔයිල් පාම් වගාව හෝ පාම් තෙල් පරිභෝජනය මගින් පරිසරයට හෝ සෞඛ්‍යයට සැලකිය යුතු මට්ටමේ තර්ජනයක් ඇති නොවන බවට ලොව පුරා පර්යේෂණ වලින් ඔප්පු වී තිබියදී ය.

ඇත්ත වශයෙන්ම, විද්‍යාත්මක පර්යේෂණ වල සහය ඇතිව, ඉන්දියාව, මැලේසියාව හා ඉන්දුනීසියාව ඇතුළු තවත් රටවල් රාශියක් සාර්ථක හා තිරසාර ලෙස තම රටවල පාම් තෙල් නිෂ්පාදනය පුළුල් කර තිබේ. මෙමගින් විශේෂයෙන්ම එම රටවල ග්‍රාමීය ප්‍රදේශ වලට පුළුල් ආර්ථික ප්‍රතිලාභ හිමි වී ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාව තුළ, නීතියට අනුව, නො-ඉඳුල් ඉඩම් වල ඔයිල් පාම් වගාකිරීම තහනම් වන අතර, ඒවා වගා කළ හැක්කේ මීට පෙර වෙනත් වගාවන්ට භාවිතා කළ ඉඩම් වල පමණි. ඇත්ත වශයෙන්ම, දශක ගණනාවක් තිස්සේ වගා කරනු ලැබීමෙන් අනතුරුව අස්වැන්න අඩු වී යමින් පවතින රබර්, තේ සහ වෙනත් භෝග වගා කළ ඉඩම් වලට ඇති හොදම විකල්පය වන්නේ ඔයිල් පාම් ය.

පාම් තෙල් නිෂ්පාදනය වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාවට අඩු වියදමින් රටේ එළවලු තෙල් අවශ්‍යතාව සපුරාගත හැක. විශේෂයෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ඇතුළුව සමස්තයක් ලෙස නිෂ්පාදන හා කාර්මික ක්‍රියාවලි රැසකට පාම් තෙල් අවශ්‍ය වේ. පාම් තෙල් වලට විකල්ප ලෙස භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය ආර්ථික වශයෙන් අවාසිදායක බවත්, එම නිසා තම නිෂ්පාදන වල තත්ත්වය පහළ ගොස් මිල ඉහළ යන බවත් මෙම ව්‍යාපාර හිමියන් නොයෙක් අවස්ථා වලදී පෙන්වා දී ඇත.

ඔයිල් පාම් වගාකිරීම වාසිදායක දෙයක් බව සනාථ කිරීමට මෙතරම් සාක්ෂි තිබියදී පවා, රජය එම කර්මාන්තයට සහාය දීම ප්‍රතික්ෂේප කිරීම පමණක් නොව, එහි වර්ධනය හා ක්‍රියාකාරීත්වය සක්‍රීයව අවහිර කිරීමට පවා කටයුතු කිරීම සැබැවින්ම කනගාටුදායක ය. ගෝලීය වශයෙන් සිදුකළ පර්යේෂණ වල ප්‍රතිඵල මගින් ඔයිල් පාම් වගාව අහිතකර නොවන බව පෙනී ගොස් තිබියදීත්, කිසිදු විධිමත් අධ්‍යයනයකින් හෝ පර්යේෂණයකින් තොරව, සැඟවුණු න්‍යාය පත්‍ර ඇති බවට නිසැකව කිවහැකි ක්‍රියාකාරීන් කණ්ඩායම් අතළොස්සක් සතුටු කිරීම සඳහා රජය මෙම පියවර ගෙන තිබේ.

පාම් තෙල් සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයක්, විද්‍යාත්මක සාක්ෂි, තර්ක බුද්ධිය සහ ඉදිරි දැක්ම මත පදනම් විය යුතු ය. විශේෂයෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ, රජය ඔයිල් පාම් වගාවට නිසි සහයෝගය ලබාදීම අතිශයින් වැදගත් බව අමුතුවෙන් කිවයුතු නැත.

ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමය ඇතුළුව විවිධ සංවිධාන මේ වනවිට ඔයිල් පාම් තහනම නැවත සලකා බලන මෙන් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඔයිල් පාම් වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකි වීම සහ ග්‍රාමීය ප්‍රදේශ වල ආර්ථිකය නංවාලීමට එයට ඇති හැකියාව වැනි සාධක මෙහිදී පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම මහා පරිමාණ ප්‍රාදේශීය වැවිලි සමාගම් වලට අමතරව  කුඩා පරිමාණ වගාකරුවන්ට ද ඔයිල් පාම් වගාව සිදුකළ හැකි අතර, එමගින් ග්‍රාමීය ප්‍රජාවන්ට මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට ප්‍රතිලාභ රාශියක් සැලසෙනු ඇත.

කෙසේ නමුත් තවමත් රජය පාම් ඔයිල් වගාව ව්‍යාප්ත කිරීම තහනම් කිරීමේ තීරණයෙහි දැඩිව එල්බගෙන සිටී. මෙය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය මට්ටමට සහ ග්‍රාමීය ප්‍රජාවන්ගේ යහපතට පමණක් නොව, රටේ ආර්ථිකයේ ජීවනාලිය ලෙස සැලකෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලටද දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

මේ ආකාරයට, ආර්ථිකයේ යහපත වෙනුවට හුදෙක් ඡන්ද පදනම වැඩි කර ගැනීම වෙනුවෙන් ගන්නා ලද මෙම තීරණය මෙන්ම අනෙකුත් අදූරදර්ශී, පදනම් විරහිත තීරණ නිසා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වන්දි ගෙවීමට සිදු වී ඇත. මෙම තත්ත්වය හැකි ඉක්මනින් වෙනස් විය යුතු ය.

ආනුභවික දත්ත, විද්‍යාත්මක සාක්ෂි සහ විශේෂඥ උපදෙස් මත පදනම් වී තර්කානුකූලව කටයුතු කරන ලෙසත්, ඔයිල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම ඉවත් කර එම කර්මාන්තය සවිබල ගන්වන ලෙසත් තම නායකයන්ගෙන් ඉල්ලා සිටීමේ වගකීම දැන් සියල්ලන් වෙත පැවරී තිබේ. එය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන ඉල්ලීමක් වනු ඇත.