සංචිත ඉහළට

    January, 5, 2023

    2022 දෙසැම්බර් මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,896 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

    මෙය 2022 නොවැම්බර් මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 1,806 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 5%ක ඉහළ යාමක් වේ.

    මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 දෙසැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 1,733 සිට ඩොලර් මිලියන 1,862 ක් දක්වා 7.4% කින් ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිතයද පසුගිය දෙසැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 27 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 3.2% කින් වැඩි වී ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙම විදේශ විනිමය සංචිතය තුළ, චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම අන්තර්ගත බවත්, එය භාවිත කිරීම යම් කොන්දේසිවලට යටත් බවත්ය.