පුද්ගලයන් වෙනුවට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් PAYE ගෙවීම අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

    January, 9, 2023

    උපයන විට බද්ද (PAYE) රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි. උපයන විට බද්ද පනවා ඇත්තේ කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබා ගන්නා පුද්ගලයන් විසින් රජය වෙත ගෙවිය යුතු බද්දක් ලෙස වන අතර ඇතැම් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන මගින් එම බද්ද ගෙවීමේ සිදු වීම් මීට පෙර වාර්තා වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එහෙත් රට වර්තමානයේ පවතින තත්ත්වය තුළ මෙවැනි අක්‍රමිකතාවලට ඉඩ තැබිය නොහැකි බවයි සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ.

    “රාජ්‍ය වෙන්න පුළුවන්, අර්ධ රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් යම් සීමාවකට වැඩියෙන් ඉපයීමක් කරනව නම් ඔවුන් උපයන විට බද්දට යටත් වෙනවා. නමුත් පසුගිය වකවානුවේ දී විශේෂයෙන් අර්ධ රාජ්‍ය, සංස්ථාවල යම් යම් සේවා ගිවිසුම් ඇති කරගෙන තිබුණ තත්ත්වයන් මත උපයන විට බද්ද අදාළ ආයතනය විසින්ම ගෙවන අවස්ථාවන් අපට අත්විඳින්න ලැබුණ. එවැනි අකාර්යක්ෂමතාවන්ට මේ අවස්ථාව නෙවෙයි. මේ පිළිබඳ ඉතා නිරවුල්ව සොයා බලා ඒ ගෙවීම වළක්වාලමින් පැහැදිලි චක්‍රලේඛයක් සියලුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත නිකුත් කරනවා” යැයි අමාත්‍යවරයා පැවැසීය.