- ජනපති දැනුවත් කිරීමට තීන්දුවක්
- කථානායකටත් පැමිණිල්ලක්
- පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක්
- ලබන 17 වැනිදා අමාත්‍යාංශ ලේකම්වරයා නැවත කැඳවීමටත් තීරණයක්
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුවේ) විශේෂ රැස්වීමක් එම කාරකසභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (ජන. 05) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදි පහත සදහන් කරුණු ත්‍රිත්වය පිළිබඳව අවධානය යොමුවිය.
- කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය වඩාත් පුළුල් කිරීමේ සහ එහි සාමාජිකයන් සක්‍රීය ලෙස කාරක සභා කටයුතුවලට සම්බන්ධ කර ගැනීමේ අපේක්ෂාවෙන් අනු කමිටු හතරක් සදහා සාමාජිකයන් 12 දෙනකු පත් කිරීම.
- 2023 වසරේදී කෝප් කමිටුවට කැඳවිය යුතු ආයතන සහ දැනට කැදවා ඇති පසු විපරම් කළයුතු ආයතන මොනවාද යන්න තිරණය කිරීම. ඒ සදහා විගණකාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ කටයුතු කිරීමට කෝප් කමිටුවේදී එකඟතාව පළ විය. එසේම අවශ්‍ය නම් එම ආයතනවල ක්ෂේත්‍ර චාරිකා සිදු කිරීමට ද මෙහිදී තීරණය විය.
- අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් 22 වන දින “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” වෙනුවෙන් පැවති පැවති නිල උත්සවයේදී කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම.
කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම පිළිබඳව කෝප් කමිටුවට විගණකාධිපතිවරයා විසින් ලිපියක් මගින් කරුණු දන්වා තිබිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස එතුමා උක්ත සදහන් පරිදි ප්‍රකාශ කළද පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම උදෙසා පාර්ලිමේන්තු ක්‍රමය ඔස්සේ ස්ථාපිත කර ඇති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත තමන්ට ලැබී ඇති බලතල ඉක්මවා කටයුතු කර ඇති බව හෝ එලෙස කටයුතු කිරීම සදහා කිසිදු සහය දැක්වීමක් සිදු කර නොමැති බව විගණකාධිපතිවරයා විසින් කාරක සභාව වෙත පෙන්වාදෙන ලදී.
තවද විගණකාධීපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් ලිඛිත නීති මගින් පැවරී ඇති කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සිය වගකීම ඉටුකිරීමට කටයුතු කරන ආකාරය පිළිබදව රාජ්‍ය අංශයේ, මහජන නියෝජිතයන්ගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය කඩවන ආකාරයට සිදු කරන ප්‍රකාශයන් පාර්ලිමේන්තු මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බවට නිරීක්ෂණය වන බවත් විගණකාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
මේ අනුව කාරක සභාව විසින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත සදහන් යෝජනා සහ තීරණ ඉදිරිපත් කෙරිණි.
- කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි පූර්වාදර්ශයක් බවත් එමගින් කෝප් කාරක සභාව හෑල්ලුවට ලක් කිරීම සිදුව ඇති බවත් නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබදව දැඩි අප්‍රසාදය කාරක සභාව විසින් පළ කරන ලදී. ඒ සම්බන්ධයෙන් කාරක සභාව විගණකාධිපතිවරයා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලය වෙත වෙත සිය කනගාටුව පළ කිරීමට තීන්දු කෙරිණ.
- මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගරු කථානායකවරයාට පැමිණිල්ලක් සිදු කිරීම.
- මෙම ප්‍රකාශය මගින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට විධායකය මැදිහත් වීම තුළ ඒ පිළිබදව විරෝධය පළ කරමින් ගරු ජනාධිපතිවරයාව ලිඛිතව දැනුවත් කිරීම.
- එහි පිටපතක් අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලයට ද යොමු කිරීම.
- පසුගිය කෝප් කමිටු රැස්වීමේදී ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දින දෙකක් තුළ දැනුවත් කරන ලෙසත් ලබන 17 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙසත්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් මගින් දැනුම් දීම සහ එම නිර්දේශ එලෙසම බලපැවැත්වෙන බව නැවතත් ලේකම්වරයාට අවධාරණය කිරීම.
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අදාළ පසුගිය කෝප් කාරක සභා සාකච්ඡා සටහන් පදනම් කර ගනිමින් විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.
- එසේම පවත්නා ආර්ථික තත්ත්වය තුළ සංවේදී ආයතන කැඳවීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර විශේෂයෙන් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අවස්ථානුකූලව ක්‍රියාත්මක වීමට තීරණය කෙරිණි.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් බණ්ඩාර, මුජිබුර් රහුමාන්, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, ෂානක්කියන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.