කෝටි 16,000ක් හොයාගන්න දැවැන්ත බැඳුම්කර වෙන්දේසියක්

    January, 11, 2023

    රු. මිලියන 160,000 ක් හෙවත් රු. කෝටි 16,000 ක දැවැන්ත වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ 2023 ජනවාරි 12 වැනි බ්‍රහස්පතින්දා මෙම වෙන්දේසිය පැවැත්වෙන බවයි.

    ඒ අනුව පරිණත කාල දෙකක් යටතේ රු. මිලියන 160,000 ක බැඳුම්කර ප්‍රමාණයක් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

    2026 මැයි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 ක බැඳුම්කර ප්‍රමාණයක් හා 2027 සැප්තැම්බර් 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 110,000 ක බැඳුම්කර ප්‍රමාණයක් එහිදී නිකුත් කිරීමට නියමිතය.

    මෙම වෙන්දේසිය සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන අතර ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.