January, 19, 2023
අද (19) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 98.65 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 28.39 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,484.92 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,635.77 ක් ලෙසින් වාර්තා වූ අතර පිළිවෙලින් මෙය පෙර දිනය හා සැසඳීමේ දී 1.18% ක හා 1.09% ක වර්ධනයක් වේ.
දිනයේ දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් ප්රකෝටිපති ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන හේලීස් සහ වැලිබල් වන් සමූහයන්ට අයත් සමාගම් රැසකම කොටස් මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ යාමයි.
එහිදී හේලීස් සමාගමේ හි කොටස් මිල රු. 70.60 ක් දක්වා 9.80% කින් වර්ධනය වීම සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි. මීට අමතරව හේලීස් ෆයිබර් කොටස් මිල රු. 56.90 ක් දක්වා 8.17% කින්, වැලිබල් වන් කොටස් මිල රු. 31.30 ක් දක්වා 4.68% කින්, හොරණ වැවිලි සමාගමේ කොටස් මිල රු. 69.60 ක් දක්වා 7.08%කින්, වැලිබල් ෆිනෑන්ස් කොටස් මිල රු. 22.60 ක් දක්වා 5.12%කින්, රෝයල් සෙරමික්ස් ලංකා කොටස් මිල රු. 28.70 ක් දක්වා 6.30%කින්, හේලීස් ෆැබ්රික් කොටස් මිල රු. 22.50 ක් දක්වා 2.74%කින්, ලංකා වෝල්ටයිල් කොටස් මිල රු. 51.60 ක් දක්වා 3.61%කින් සහ සම්පත් බැංකුවේ කොටස් මිල රු. 38.00ක් දක්වා 2.98%කින් ඉහළ ගොස් තිබුණි.
රුපියල් බිලියන 1.85 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.
දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙසින් හේලීස් (රු.මි. 262.21), සොෆ්ට්ලොජික් කැපිටල් (රු.මි. 179.93), ෆස්ට් කැපිටල් (රු.මි. 153.53), කැපිටල් එලයන්ස් (රු.මි. 126.98) හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු.මි. 117.48) පෙරමුණේ විය.
Video Story