January, 31, 2023
විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ ලියාපදිංචිය නොමැති දුරකතන ආරක්ෂාවටත්, සෞඛ්‍යයටත් තර්ජනයක්
නීති විරෝධී ආකාරයෙන් සිදු කෙරෙන ජංගම දුරකතන ආනයනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ආනයනයන් හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිම වන බවයි. ජංගම දුරකතන ආනයනකරුවන් සමග අද (31) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
නීත්‍යානුකූලව ආනයනය කෙරෙන සියලුම දුරකතනවල IMEI අංක විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කෙරෙන අතර දුරකතන අස්ථානගතවීම් හෝ නීති විරෝධී ක්‍රියාවන්වල දී එම දුරකතනය හඳුනා ගනු ලබන්නේ මෙම අංකය භාවිතයෙනි. එහෙත් නීති විරෝධී ලෙස ආනයනය කෙරෙන දුරකතන එවැනි ලියාපදිංචි කිරීමක් සිදු නොකරන බවයි එහි දී අනාවරණ වුණේ. මීට අමතරව නීත්‍යානුකූලව ආනයනය කරන සියලු ජංගම දුරකතන සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කිරීමක් සිදු කෙරුණ ද නීති විරෝධී ආනයනයන්වල දී එවන්නක් සිදු නොකෙරේ.
මෙම කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැනට පවතින නීති දැඩි කරන්නැයි රේගුවට උපදෙස් ලබා දුන්නේය. ලබන සඳුදා වන විට මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි ඉල්ලා සිටි අමාත්‍යවරයා නීති විරෝධී ආනයනයන් වැළැක්වීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේ ය.
Video Story