CEYIFF, Cine Star පදනම සමඟ අත්වැල් බැඳගනිමින් 2022-සිනමා සම්මාන උළෙල අභිමානවත් ලෙස පවත්වයි

    February, 14, 2023

    CEYIFF වෙතින් ලද ආරාධනයක් පිළිගනිමින්, CINE STAR පදනම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සහයෝගය ඇතිව මෙම අභිමානවත් උත්සවය කොළඹදී පැවැත්වීමට ඒකමතිකව තීරණය කළේය. ඒ අනුව මෙම සිනමා සම්මාන උළෙල 2023 පෙබරවාරි 10 වන දින කොළඹ නවලෝක රෝහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. CEYIFF ආරම්භක සිනාමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය the Newspaper විසින් දිනා ගත් අතර හොඳම තිර රචනයට හිමි සම්මානය ජයන්ත චන්ද්‍රසිරි විසින් ඝරසර්ප සිනමා පටය සඳහා හිමිකර ගත්තේය. හොඳම නලුවාට හිමි සම්මානය සරත් කොතලාවල විසින් the Newspaper සඳහා හිමි කර ගත් අතර හොඳම නිලිය ලෙස නිරන්ජනී ශන්මුගරාජා සුනාමි චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත්හ. හොඳම සහාය නලුවා සහ සහාය නිලිය සම්මානයන් the Newspaper සහ සුනාමි සිනමා පට වෙනුවෙන් කුමාර තිරිමාදුර සහ හිමාලි සයුරංගි විසින් දිනා ගන්නා ලදි. මේ අතර ජුරියේ විශේෂ ඇගයුම් සම්මානය සුනාමි චිත්‍රපටය විසින් දිනා ගත් අතර CEYIFF වීසින් ජීවිතයේ එක් වරක් පමණක් ලබා දෙන ප්‍රශස්ත ඇගයුම් සම්මානයන් හිමිකරගැනීමට ජ්‍යෙෂ්ට රංගධර අයිරාංගනී සේරසිංහ සහ කලාශූරී ලතා වල්පොල යන මහත්මීන් සමත් විය. එමෙන්ම සිනමාවේ කාන්තාව සම්මානය මෙවර හිමිකර ගැනීමට රේණුකා බාලසූරිය මහත්මිය සමත් වූවාය.  ශ‍්‍රී ලාංකීය සිනමාවට ඉහළ වාණිජ වටිනාකම් හිමිකර ගනිමින් ජාත්‍යන්තරය ජය ගැනීම උදෙසා මෙම සම්මාන උළෙල ඉවහල් වනු ඇති බවට සැකයක් නැත. ගෝලීය නැඹුරුතාවක් සහ ඉහළ රසාස්වාදයක් සහිතව ශ‍්‍රී ලංකාවේ දී පවත්වන සුවිශාලතම සිනමා උළෙල මෙයයි.

    ”සම්මානලාභීන් විවිධ ක්ෂේත‍්‍රයන් හරහා විදේශීය වෘත්තිකයන් විසින් විනිශ්චය කරනු ලැබූ අතර ඔවුන් අදාළ ක්ෂේත‍්‍රවල දී ජාත්‍යන්තර මට්ටමින් ඇගයීමට ලක්වුණා. මෙම විනිශ්චයකරුවන්ට ශ‍්‍රී ලාංකේය සිනමාවේ පාර්ශවකරුවන් සමඟ කිසිඳු සෘජු සම්බන්ධයක් නොමැති බැවින්, තෝරා ගැනීම් මුළුමනින්ම අපක්ෂපාතීයි. ඒ පිළිබඳව සම්මානලාභීන් සැබවින්ම ආඩම්බර විය යුතු අතර, සම්මානය සුවිශේෂී හා අනගි කුසලතා මත පමණක් පදනම් වෙනවා.” යනුවෙන් CEYIFF හි සභාපතිනි අරුණි බොතේජු මහත්මිය අදහස් දැක්වූවාය.

    සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගෙනයෑමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා මෙය වඩාත් ඉවහල් වනු ඇති බවට අපි විශ්වාස කරනවා. CEYIFF සමඟ සහයෝගයෙන් මෙම උත්සවය කොළඹදී පැවැත්වීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. ගෝලීය පිළිගැනීම සහ ගෞරවය තුළින් ශ‍්‍රී ලංකා මාතාව අභිමානවත් කිරීමේ එම අභියෝගාත්මක ගමනේ පළමු ඉදිරි පියවර මෙයයි.” යනුවෙන් බොහෝ ක්ෂේත‍්‍රයන් හරහා මෙරටට අභිමානයක් රැගෙන ආ CINE STAR පදනමේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පැවසීය.