කන්ටේනර් 4ක රූපලාවන්‍ය උපකරණ තොග, ප්‍රසිද්ධ වෙන්දේසියකින් වෙළෙඳපොළට

    February, 27, 2023

    වරායේ රඳවාගෙන සිටින රූපලාවන්‍ය උපකරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියකින් වෙළඳපළට ඉදිරිපත් කරනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    මේ වන විට වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවන්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ රටතුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවන්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම තහනම් කළ ද, ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

    කෙසේ වෙතත් එම ආයතන දෙකෙහි අනුමැතිය ලබාගැනීමේදී අතරමැද සිටින රූපලාවන්‍ය කටයුතු මගින් ජීවනෝපාය සලසා ගන්නා පිරිසකගේ ගැටලුව විසඳුම් නොලැබුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය ද සලකා බලා පෙර දී තිබූ තත්ත්වයෙන් අඩක් ලෙස හෝ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒමට හැකි වන පරිදි නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.

    එසේම විවිධ රටවලින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ සහිත බහාලුම් හතරක් වරයේ රඳවාගෙන තිබෙන අතර, ඒවා විනාශ කිරීමට ද යෝජනා කළ නමුත්, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ඒවායේ ප්‍රමිතිය යහපත් නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙළෙඳපලට නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

    ඒ අනුව පෙරකී නව චක්‍ර ලේඛය නිකුත් කරන තෙක් දැනට ගැටලුවලට මුහුණ පා ඇති රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන පිරිසට යම් සහනයක් ලැබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.