සෙලින්කෝ ලයිෆ් නුගේගොඩ ශාඛාව විශාල නවීකරණයකින් හරිත ශාඛාවක් වෙයි

    February, 28, 2023

    සෙලින්කෝ ලයිෆ් සිය කාර්යබහුල නුගේගොඩ ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණයකින් පසුව නැවැත විවෘත කර ඇති අතර, එහිදී ශාඛාවේ පාරිසරික පියසටහන අඩු කරන අතරම පාරිභෝගික පහසුකම් සහ අනෙක් සේවාවන් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා ඇත.

    වඩාත්ම ජනාකීර්ණ තදාසන්න ප‍්‍රදේශයක පිහිටා ඇති මෙම නවීකරණය කරන ලද ශාඛාව පාරිභෝගිකයින්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පුද්ගලික සාකච්ඡ කාමරවලින්ද සමන්විත වෙයි. එසේම වාහන 10කට වැඩි ප‍්‍රමාණයක් සඳහා ඉඩකඩ සහිත වාහන නැවැත්වීමේ පහසුකමකින්ද සමන්විත වන අතර, ඒ මගින් පාරිභෝගිකයින්ගේ පහසුව තවදුරටත් වැඩි කරයි.

    මෙම ශාඛාව නවීකරණය කර ඇත්තේ සම්පත් අඩු කිරීම, ප‍්‍රතිචක‍්‍රීකරණය සහ නැවත භාවිතය (Reduce, Recyle, Reuse) යන ‘3R මූලධර්මයට’ අනුව බැව්, සමාගම ප‍්‍රකාශ කරයි. බලශක්ති කාර්යක්‍ෂම කෘතීම ආලෝකකරණ සහ වායුසමීකරණ පද්ධතිවලින් සමන්විත මෙම ගොඩනැගිල්ල බැටරි උපස්ථයක් සමග ක‍්‍රියාත්මක වන පරිදි නිර්මාණය කර ඇති අතර, එමගින් විදුලි ජනක යන්ත‍්‍රයක අවශ්‍යතාවය ඉවත් කරයි. ‘සෙලින්කෝ ලයිෆ්’ ශාඛාවක මෙම ක‍්‍රමය ක‍්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.

    ‘සෙලින්කෝ ලයිෆ්’ විසින් ශ‍්‍රී ලංකා ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ශාඛා 256කින් යුත් විශාලතම ශාඛා ජාලය ක‍්‍රියාත්මක කරන අතර, දිස්ත‍්‍රික්ක 24ක් තුළ නගර සහ ගම්මාන 132ක් මෙයින් ආවරණය වෙයි.

    2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති අතර අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලබා ඇත. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

    සේයාරු සටහන : සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් සහ කළමනාකාර අධ්‍යක්‍ෂ තුෂාර රණසිංහ යන මහත්වරුන් (සේයාරුවේ පිළිවෙලින් දකුණේ සහ වමෙහි) නවීකරණය කරන ලද නුගේගොඩ නව හරිත ශාඛාව විවෘත කරන අයුරු සේයාරුවෙන් දැක්වෙයි.