අපි 16 වතාවක් මූල්‍ය අරමුදල රවට්ටලා තියෙනවා – බන්දුල

    March, 21, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි ඉටු නොකර, ශ්‍රී ලංකාව විසින් මීට පෙර 16 වතාවක්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවටා ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (21) දින කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ මෙවර ද එසේ වුවහොත් දරුණු අගාධයකට රට තල්ලු වනු ඇති බවයි.

    "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ, පාර්ලිමේන්තුවට. මේ වැඩපිළිවෙලේ තියෙන විශේෂත්වය තමා, මාස 48ක කාලය තුළ දී ලංකාවේ කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩු කරන්නේ කවුද කියන එක පිළිබඳ දේශපාලන මතිමතාන්දරවලින් තොරව එකඟ වූ වැඩසටහන ක්‍රියාත්මක වෙන්න කරන්නම ඕනේ. එසේ නොමැති නම් අපිට අන්තර්ජාතික වශයෙන් ලෝකය එක්ක ගනුදෙනු කරලා මේ රට පවත්වාගෙන යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ.

    මගේ නම් පුද්ගලික අදහස මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ලංකා ආණ්ඩුව අත්සන් කරන ගිවිසුම තියෙන කොන්දේසිවලට විරුද්ධ ද ? විරුද්ධ නම් තමා මේක කරන්නේ නැතුව මේ දේ කරන්නේ කියන දේ පිළිබඳ තනි තනි දේශපාලන පක්ෂය මතය පාර්ලිමේන්තුවේ සටහන් කරලා තියෙනවා නම් වැදගත් වෙයි කියලා මම හිතනවා. එවැනි ඡන්ද විමසීමක් කරත් වැදගත් කියලා මම පුද්ගලිකව හිතනවා. මොකද මීට පෙර 16 වතාවක් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රවට්ටලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමා අපි එකඟවෙන කොන්දේසි ඊට පස්සේ ඉටුකරලා නෑ. මෙවරත් එසේ වුණොත් මීටත් වඩා දරුණු අගාධයකට රට පත්වෙන නිසා දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව රට පිළිබඳ ජාතික එකඟතාවයක් ඇති කරගැනීම වැදගත් කියලා මම හිතනවා."