කොටස් වෙළෙඳපොළ ඒකක 128කින් පහළට

    September, 16, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් අද (16) දිනයේ දී වාර්තා විය.

    අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 128.72ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 29.38ක පහළ යාමක් වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,133.41ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,947.29ක් ලෙසත් සටහන්ව තිබුණි.

    දිනය තුළ රු. බිලියන 1.62ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    දෛනික පිරිවැටුමට ඉහළම දායකත්වය සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් හුවමාරු හරහා වාර්තා වී තිබුණු අතර රු. මිලියන 159.5ක ගිවිසාගනු ලැබූ කොටස් ගනුදෙනු ද ඇතුළුව රු. මිලියන 616ක පිරිවැටුමක් සන්ෂයින් හෝල්ඩිංග්ස් කොටස් ගනුදෙනුවලින් වාර්තා වී තිබුණි. එය දෛනික පිරිවැටුමෙන් 38%ක ප්‍රමාණයකි.

    දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.58ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.57ක් ලෙසින් වාර්තා වී තිබිණ. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 48ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 56ක් ලෙසින් සටහන්ව ඇත.