කලකට පසු කොටස් වෙළෙඳපොළට පැය 5 ක පූර්ණ ගනුදෙනු සැසියක්

    April, 10, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු කාලය අද (10) දින සිට පැය 5 ක් දක්වා දීර්ඝ කෙරුණි. ඒ අනුව පෙරවරු 9.30 ට අද දින ගනුදෙනු ආරම්භ වී පස්වරු 2.30 ට ගනුදෙනු අවසන් විය.

    2020 කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය විටින් විට සංශෝධනය කිරීමත් සමඟින් පැය 5 ක් පුරාවට ගනුදෙනු ක්‍රියාත්මක වූ පළමු දිනය අද දිනය වේ.

    මීට පෙර අවසන් ගනුදෙනු දිනය වූ පසුගිය අප්‍රේල් 06 වැනි බ්‍රහස්පතින්දා ගනුදෙනු කාලය පැය 3 ක් වූ අතර පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා එම ගනුදෙනු සැසිය ක්‍රියාත්මක් වුණි.

    අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 65.95 කින් ඉහළ ගොස් ඒකක 9,322.85 ක් ලෙසින වාර්ත වූ අතර S&P SL20 දර්ශකය ඒකක 42.10 කින් ඉහළ ගොස් ඒකක 2,728.01 ක් ලෙසින් සටහන් වුණි.

    එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, වැලිබල් වන්, CTC, කොමර්ෂල් බැංකුව සහ ලාෆ්ස් ගෑස් හෝල්ඩිංග්ස් අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දීමට සමත්වූ අතර ඒ සමඟින් සමාගම් 96 ක කොටස් මිල ගණන් දිනය තුළ ඉහළ යන ලදී.

    සමාගම් 78 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණි.

    රු. බිලියන 1.29 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.24 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.29 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 52.24 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 5.98 ක් ලෙසින් සටහන්ව තිබුණි.