ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන සතියේ ‘කෝප් කමිටුව’ හමුවට

    April, 19, 2023

    ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

    මේ අනුව ලබන අප්‍රේල් 25 වැනිදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.

    එසේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 26 වැනිදා කෝප් කමිටුවට කැඳවා ඇති අතර 2022.10.21 වැනි දින පැවති කාරක සභා රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය එහිදී පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

    තවද ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා ඇත්තේ ලබන 28 වැනිදාය.

    මේ අතර වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වැනි දින කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට අපේක්ෂිතය.