නුවරඑළියේ තට්ටු 4ට වැඩි නව ඉදිකිරීම්වලට සීමා

    April, 25, 2023

    නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර එමඟින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇත.

    එබැවින්, එම ප්‍රෙද්ශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

    ඒ අනුව, ආදාළ සියලුම පාර්ශ්වයන් සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය සංචාරක ප්‍රධාන සැලැස්ම සකස් කිරීමටත්, නව ගොඩනැඟිලි ඉදි කිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යසාධක බලකායක් පත් කිරීමටත්, 2023.05.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැඟිලි ඉදි කිරීම සීමා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.