ශ්‍රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාල ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක අරමුදල සඳහා ලෝක බැංකුවේ ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව එම බැංකුව සමඟ සාකච්ඡා පවත්වනු ලැබ ඇත.
ස්ථායීතාව සුරැකීම සහ යහපත් මූල්‍ය අතරමැදි ක්‍රමයක් නැවත ඇරඹීමට හැකි වන පරිදි මූල්‍ය අංශයේ ශක්තිමත්භාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා මූල්‍ය අංශ ආරක්ෂණ ජාලයේ මූල්‍ය සහ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීම පිණිස යෝජිත ණය මුදල යෙදවීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, ආයෝජන ව්‍යාපෘති මූල්‍යනයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලෝක බැංකුව වෙතින් ලබා ගැනීම පිණිස ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.