May, 3, 2023
ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර, එය මෙරට ආර්ථිකයේ සියලු අංශවලට අත්වැලක් සපයයි. බැංකු ක්ෂේත්රය යනු, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මූල්‍ය වෙළෙඳපොළ සමග සම්බන්ධ වීමට භාවිත කරන ප්‍රධාන යාන්ත්‍රණය වේ. රටේ යහපතට බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අතිශයින් වැදගත් ය.
ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඒ සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්රයට ඇති ගැටලු
‘අයවැය ශේෂයේ සහ විදේශ ගනුදෙනුවල දීර්ඝකාලීන හිඟයන් සමඟ, තිරසර නොවන සාර්ව ආර්ථික ආකෘතියක් පවත්වාගෙන යාම හේතුවෙන්, ජාත්‍යන්තර හා දේශීය මූලාශ්‍රවලින් මතු වූ අභියෝග හමුවේ 2022 වසරේ මුල් භාගය වනවිට මෙරට ආර්ථිකයේ ආරක්ෂාව සඳහා යොදා තිබූ සියලු ආරක්ෂක විධිවිධාන භාවිතා කර අවසන් වූ බව’ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.
මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට තවදුරටත් ණය වාරික ගෙවිය නොහැකි බවට 2022 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, ගෙවීම් හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ විය. මෙම ක්‍රියාවලිය තුළදී, සමාජ හා දේශපාලනික ගැටලු ඇති නොවන ආකාරයට, ප්‍රායෝගික ආපසු ගෙවීමේ ධාරිතා සීමා තුළ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා රජයට සහන ලබා දෙන බවට ණය හිමියන් එකඟ කරවා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂා සහ ණය හිමියන්ගේ අපේක්ෂා යන සාධක සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බව අප පිළිගත යුතු ය. කෙසේ නමුත්, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික බැංකු සමග සිදුකරන ලද සාකච්ඡාවල විනිවිදභාවයක් නොමැති වීම ගැටලුවකි.
ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය තිරසර මට්ටමකට රැගෙන ඒමේ ක්‍රියාවලියට සම්බන්ධවන සියලුම පාර්ශ්වකරුවන්, එහි ප්‍රතිඵලය පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව බැංකු විශ්වාස කරයි. ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකදී බැංකු අංශයේ ප්රාග්ධනයට සහ ද්‍රවශීලතාවට ඇති විය හැකි බලපෑම හඳුනා ගැනීම සහ ක්ෂේත්රයට ඇති විය හැකි අවදානම අවම කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙහිදී අප දැනටමත් පත් වී තිබෙන තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරීමේ අවදානම මගහරවාගත යුතු ය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය තුළ බැංකු ක්ෂේත්රයට සක්‍රීය භූමිකාවක් ඉටුකිරීමට සිදු වන බව අප මතක තබාගත යුතු වේ. ක්ෂේත්රයේ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාත සහ ද්‍රවශීලතා ආවරණ අනුපාත වර්තමානයවනවිට නියාමන අවශ්‍යතා සීමා තුළ පවතී. බැංකුවල ස්ථාවරත්වයට ගැටලු ඇතිවන සහ ජනතාවගේ විශ්වාසය පළුදුවන ආකාරයේ පියවර මගින් මෙම තත්ත්වය නරක අතට හැරීමට අප ඉඩ නොතැබිය යුතු ය.
‘ස්වේච්ඡා’ ණය ප්‍රශස්තකරණය යන්න තවදුරටත් පැහැදිලි කරන මෙන් බැංකු මේ වනවිට ඉල්ලීම් කර තිබේ. එමෙන්ම මෙහිදී ස්වේච්ඡා නොවන තෝරාගැනීමක් තිබේද සහ එය අදාළ වන්නේ කාටද යන්න (විශ්‍රාම දීමනා හා විශ්‍රාම අරමුදල් සහ රජය සතු බැංකු වැනි විශාල භාණ්ඩාගාර බිල්පත් / භාණ්ඩාගාර බැඳුම්කර හිමියන්ට සීමා වේ) මෙන්ම, යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නියම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස කුමක්ද යන්නත්, යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රමවේදය, අපට පෙර එවැනි ක්‍රමවේදයක් භාවිතා කළ රටවලට සමාන වීමට ඉඩ තිබේද යන්නත් බැංකු විසින් රජයෙන් විමසා ඇත.
ජනතාවගේ කලකිරීම්වලට සහ දේශපාලන පෙරළිවලට තුඩුදුන් දැඩි ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්රයත්නයන්ට නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට මෙරට බැංකු අතීතයේ පටන්ම කටයුතුකර ඇත. විශේෂයෙන්ම මෑත කාලයේ අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් ඇති වූ ස්වභාවික ආපදා, 2019 පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගත තත්ත්වය, සහ දේශපාලන හා සමාජයීය නොසන්සුන්තා වැනි බොහෝ සිදුවීම් හමුවේ, පොදුවේ තමන්ට අවාසිසහගත කොන්දේසි යටතේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබාදීම, ශක්‍යතාව සහිත ව්‍යාපාර සඳහා ණය ප්රතිලේඛනගත කිරීම සහ අවශ්‍ය ප්‍රතිසාධන විධිවිධාන යෙදීම ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ණය ගෙවීම් පැහැර හැරීම මේ වනවිට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක වාර්තා නොවූ තරම් ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම මෙම තත්ත්වය හමුවේ ගෙවිය යුතු බදු ප්‍රමාණයන්ද සැලකිල්ලට ගන්නා විට, දැනටමත් ප්රාග්ධනය සහ ද්‍රවශීලතාව මත ඇති වී තිබෙන පීඩනයට අමතරව ණය ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධ තවත් අමතර පීඩනයක් දැරීමට හැකියාවක් නොමැති අතර, ඒ අනුව තවදුරටත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව අවිනිශ්චිතවනු ඇත.
අතිශය දුෂ්කර තීරණ ගැනීමට සිදු වී ඇති මෙම අවස්ථාවේදී, බැංකු පද්ධතියේ තිරසාරත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව බැංකු අවධාරණය කර සිටී.
Video Story