දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරන ආකාරය ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

    May, 9, 2023

    මෙරට දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියේ දී, රටේ බැංකු පද්ධතියට හෝ මූල්‍ය පද්ධතියට හෝ සේවක අර්ථ සාධක අරමුදලට කිසිදු ආකාරයේ අගතියක් අත්වන ආකාරයේ පියවරක් නොගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඊයේ (08) දෙරණ 360 සජීවී දේශපාලන සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර එහිදී ඔහු වැඩිදුරටත් අනාවරණය කර සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්වල සිදුකර ඇති ආයෝජන අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණයකට ලක්කෙරෙන බවයි.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ දී අපි එක තීරණයක් පමණයි තාම අරගෙන තියෙන්නේ. ඒ තමයි භාණ්ඩාගාර බිල්පත්වල මහ බැංකුව විසින් සිදුකරලා තියෙන ආයෝජන අනිවාර්යයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණයකට ලක්වෙනවා.

    දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කියන කාරණය ඉතාම සංවේදී තත්ත්වයක්. හැබැයි අපි එක වගකීමකින් ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ බව මහ බැංකුවත්, මුදල් අමාත්‍යාංශයත්, ඒ වගේම ජනාධිපතිතුමත් ප්‍රකාශ කරලා තියෙනවා, මේ රටේ බැංකු පද්ධතියට සහ මූල්‍ය පද්ධතියට අගතියක් වෙන ආකාරයට, ඒ වගේම අර්ථසාධක අරමුදලට එහි සාමාජිකත්වයට අගතියක් වන ආකාරයට කිසිදු ප්‍රතිව්‍යූහගතකරණයක් සිදුවෙන්නේ නැහැ කියලා.