වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි වෙතින් වැල්ලවත්ත වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයක්

    May, 22, 2023

    ස්වර්ණාභරණ ලොව කිරුළ පැළඳි වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි අඛණ්ඩව සංවිධානය කරන වෙරළ පිරිසිදු කිරීමේ සමාජ සත්කාර වැඩසටහන පසුගියදා විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් වැල්ලවත්ත වෙරළ තීරයේදී පැවැත්විණි. වැල්ලවත්ත පොලිසියේ සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂකයන්ගේ සහයෝගය සහිතව සංවිධානය කරන ලද මෙම වැඩසටහනට වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි කාර්ය මණ්ඩලය, පාරිභෝගිකයන් ඇතුළු මහ ජනතාව සහභාගී වූහ. මැයි 14 ඉරිදා උදෑසන 6.00ට වැල්ලවත්ත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද අතර කැළි කසල නිසා අපවිත්‍රව පැවැති වෙරළ තීරය සියලු දෙනාගේ සිත් සතන් ඇද බැඳ ගන්නා දර්ශනීය හා පිරිසිදු වෙරළ තීරයක් බවට නැවත පත් කිරීමට මෙම සමාජ සත්කාර වැඩසටහනට හැකි විය. අපිරිසිදුව පැවැති වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නා ලෙස නැවත සකස් කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.

    මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි ප්‍රධාන විධායක නිලධාරී ඒ. පී. ජෙයරාජා මහතා සඳහන් කළේ පරිසරය ආරක්ෂා කර ගැනීම සිය ආයතනික සමාජ වගකීම්වල ප්‍රධාන කොටසක් ලෙස සළකන බවත්, ඉදිරියේදීත් මෙවැනි පරිසරය ආරක්ෂා කරන වැඩසටහන් සංවිධානය කරන බවත්ය. අතීතයේ පටන් සුන්දර පරිසරයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව පරිසරය ආරක්ෂා කර ගැනීම පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්විය යුතු බවත්, තම ආයතනය මෙවන් වැඩසටහන් හරහා සිදු කරන්නේ එම කර්තව්‍යයට ආයතනික මට්ටමින් සහයෝගය දැක්වීම බවත් වැල්ලවත්ත නිත්‍යකල්‍යාණි ජුවලරි සම හවුල්කරු දිවාකර් බාලසුබ්‍රමනියම් මහතා පැවැසීය. වැල්ලවත්ත නිත්‍යකල්‍යාණී ජුවලරි සිය ව්‍යාපාර අරමුණුවලට පරිබාහිරව වෙරළ පිරිසිදු කිරීම, ලේ දන් දීම, පාසල් සහ ආගමික ස්ථානවල සංවර්ධනයට දායක වීම, දිළිඳු ජනතාවට වියළි ආහාර පිරිනැමීම, පිරිසිදු පානීය ජලය සැපයීම ආදී සමාජ සත්කාර වැඩසටහන්වලට සිය අඛණ්ඩ දායකත්වය සපයයි.