May, 23, 2023
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත මඟින් කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් වශයෙන් ස්ථාපිත කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව නවීකරණයට ලක් කිරීම, ආර්ථික ස්ථායීකරණය ඇති කිරීම සහ සේවා අපනයනයේ නියමුවා බවට මෙරට පත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් තරගකාරී වන අයුරින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා කොළඹ වරාය නගරය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.
පනතේ විධිවිධාන පරිදි ජනාධිපතිවරයා හෝ කොළඹ වරාය නගර විෂය පවරා ඇති අමාත්‍යවරයා විමසා කොමිෂන් සභාව විසින් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර වශයෙන් නම් කරන ව්‍යාපාර හඳුනාගෙන නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්රදානය කිරීමට නිර්දේශ කරනු ලැබිය හැක.
අදාළ නිදහස් කිරීම් හා දිරිගැන්වීම් ප්රදානය කිරීම සඳහා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සහ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතියික ව්‍යාපාර වශයෙන් කාණ්ඩ දෙකක් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී නිදහස් කිරීම් හා දිරිගැන්වීම් ප්රදානය කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story