ට්‍රාන්ස් ඒෂියන් විදේශ රැකියා නියෝජිත ආයතනය Golden Awards තරු පහේ සම්මාන දිනයි

    May, 24, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන ට්‍රාන්ස් ඒෂියන් ආයතනය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ The Golden Awards 2022 සම්මාන ප්‍රදානෝත්සවයේදී තරු පහේ සම්මානයෙන් පිදුම් ලැබීය. විදේශ රැකියා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට දායක වූ නියෝජිත ආයතන ඇගැයීමට මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදී. විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හි දී උත්කර්ෂවත් ලෙස පැවැති සම්මාන උළෙලේදී ට්‍රාන්ස් ඒෂියන් අධ්‍යක්ෂ එම්. එෆ්. එම්. ෆනූර් මහතා වෙත සම්මානය පිරිනැමිණි.

    2012දී ඇරැඹූ ට්‍රාන්ස් ඒෂියන් ආයතනය (බලපත්‍ර අංක 2661) වසර 10කට වැඩි කාලයක් විදේශ රැකියා අපේක්ෂකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් කීර්තිමත් නාමයක් දිනා ඇත. කටාර්‚ එක්සත් අරාබි එමීර් රාජ්‍යය‚ කුවේට්‚ සෞදි අරාබිය‚ මැලේසියාව‚ සිංගප්පූරුව‚ ජපානය‚ මාලදිවයින‚ බල්ගේරියාව ආදී රටවලට ඉදිකිරීම්‚ හෝටල් හා අවන්හල්‚ නඩත්තු‚ පිරිසිදු කිරීම්‚ පහසුකම් කළමනාකරණය‚ ආරක්ෂක‚ ප්‍රවාහන ආදී ක්ෂේත්‍රවල රැකියා රැසක් පසුගිය දස වසරේදී ට්‍රාන්ස් ඒෂියන් ආයතනය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබා දී ඇත. 2022දී පමණක් ශ්‍රමිකයන් 1189ක් විදේශ රැකියාවලට යොමු කර ඇත. දැනට බල්ගේරියාවට ශ්‍රමිකයන් යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය සහිත ප්‍රථම සහ එකම විදේශ රැකියා ආයතනය වන්නේ අංක 59‚ පළමු මහල‚ ඩී. එස්. සේනානායක මාවත‚ බොරැල්ල ලිපිනයේ පිහිටි ට්‍රාන්ස් ඒෂියන් ආයතනයයි.

    “විදේශ රැකියා ක්ෂේත්‍රය දිරිමත් කිරීමට මෙවැනි සම්මාන උළෙලක් පැවැත්වීම පිළිබඳව විදේශ රැකියා අමාත්‍යංශයටත්‚ විදේශ සේවා නියුක්ති කාර්යංශයටත්‚ විශේෂ ස්තූතිය පුද කරනවා. එසේම මේ ජයග්‍රහණය ලැබීමට දායකත්වය දැක්වූ ආයතනයේ කාර්ය මණ්ඩලයටත්‚ අප කෙරෙහි විශ්වාසය තැබූ රැකියා ලාභීන් සැමටත් මාගේ කෘතඥතාව පළ කරනවා. අප ලැබූ මේ ජයග්‍රහණය ගැන මට ඇත්තේ විශාල සතුටක්. අපගේ නියෝජිත ආයතනය හරහා විදේශ රැකියා අපේක්ෂාවෙන් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හැකියාවට රැකියාවක් යන තේමාව යටතේ සාධාරණ හා හෘදයාංගම සේවාවක් සැපැයීමට අප නිරන්තරයෙන් කටයුතු කරනවා.” එම්. එෆ්. එම්. ෆනූර් මහතා පැවැසීය.