Cinec Campus නව පාඨමාලා රැසක් සමඟින් Cinec ජාත්‍යන්තර හෝටල් පාසල හඳුන්වා දෙයි

    May, 24, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම නාවික ඉංජිනේරු අධ්‍යාපන ආයතනය වන Cinec Campus විසින් එහි ජාත්‍යන්තර හෝටල් පාසැල (Cinec - IHS) හඳුන්වා දෙනු ලබයි. Cinec ජාත්‍යන්තර හෝටල් පාසැල ඕස්ට්‍රේලියාවේ හෝටල් කළමනාකරණය පිළිබඳව විශේෂිත වූ සහ පැරණිතම විශ්ව විද්‍යාලයක් වූ Modul University සමඟ එක් වී ආගන්තුක සත්කාර පිළිබඳ සහතික පාඨමාලා හඳුන්වා දෙයි. වෘත්තීය ඉවුම් පිහුම් (Professional Cookery), පේස්ට්‍රි සහ බේකරි (Pastry and Bakery), භෝජනාගාර සේවය (Food and Beverage), අමුත්තන් පිළිගැනීම (Hotel Front Office), හෝටල් ගෘහ පාලනය (Hotel Housekeeping) මෙම පාඨමාලා ජාතික වෘත්තීය පුහුණු සුදුසුකමට (NVQ) අනුකූලව ගොඩ නඟා ඇත. මෙම පාඨමාලාවල සුවිශේෂත්වයක් වන්නේ සමුද්‍රීය සංචාරක සේවය (Cruise Tourism) සඳහා අවශ්‍ය මූලික පුහුණුව මෙම පාඨමාලා තුළින් විශේෂ පුහුණුවක් ලෙස සැපයීමයි. ඉහත පාඨමාලා අවුරුද්දක කාල සීමාවක් ක්‍රියාත්මක වන අතර සය මසක න්‍යායික සහ ප්‍රායෝගික (Theoretical and Practical) පුහුණුවකින් පසුව සය මසක කර්මාන්තගත පුහුණු (Industrial Training) කාල සීමාවකින් යුක්ත වේ.

    වෘත්තීය ඉවුම් පිහුම් සහ පේස්ට්‍රි හා බේකරි යන පාඨමාලා Cinec Campus සතු කල්පිටියේ රුවල හෝටලයට අනුයුක්ත හෝටල් පාසලේ (Hotel School within a Hotel) නේවාසිකව සිදු වන අතර රුවල හෝටලයෙහි ප්‍රායෝගික සහ රැකියාගත පුහුණුව පළමු වන සය මස ඇතුළත සැපයීම Cinec ජාත්‍යන්තර හෝටල් පාසැලෙන් මෙම සිසුන්ට හිමි වන සුවිශේෂ අවස්ථාවකි. භෝජනාගාර සේවාව, අමුත්තන් පිළිගැනීම, හෝටල් ගෘහ පාලනය යන පාඨමාලා මාලඹේ පිහිටි Cinec Campus සතු හෝටල් පාසැලෙහි පැවැත්වෙන අතර මෙම සිසුන්ටද රුවල හෝටලයෙහි ප්‍රායෝගික සහ රැකියාගත පුහුණුව පළමු වන සය මස සුදුසු පරිදි සපයනු ලැබේ. එසේම මෙම සිසුන්ටද සය මාසික කර්මාන්තගත පුහුණුව සපයනු ලැබේ. මීට අමතරව සංචාරක/සත්කාරක කර්මාන්තයේ මානව සම්පත් අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් කෙටි කාලීන පුහුණු පාඨමාලා රැසක්ද හඳුන්වා දී ඇත.