සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි අරඹන්න සාකච්ඡා

    May, 24, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

    සිංගප්පූරුවේ සහ ජපානයේ  නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) දිවයිනෙන් පිටත්විය.

    මැයි 24 සිට 27 දක්වා සිදු කෙරෙන ජනාධිපතිවරයාගේ ජපාන නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ( Fumio Kishida) මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීම පිළිබඳවත්, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳවත් එහිදී අදහස් හුවමාරු කර ගනු ඇත.

    එමෙන්ම ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි (Yoshimasa Hayashi), මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි (Shunichi Suzuki) මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ (Taro Kono) යන මහත්වරුන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි 25 සහ 26 දෙදින ටෝකියෝ නුවර පැවැත්වෙන “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei) ඇමතීමට නියමිතය.

    පසුගිය යහපාලන රජය සමයේ, ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) අරමුදල් යටතේ, මාලඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

    කෙසේවෙතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු රජය බලයට පැමිණීමෙන් පසු මෙම ව්‍යාපෘතිය අවලංගු කිරීමට තීන්දු කරන ලදී.

    ඊට හේතු වශයෙන් පහත කරුණු දක්වා තිබුණි.

    • විශාල පරිසර හානියක් සිදු විය හැකි කුළුණු මත ඉදි කෙරෙන දුම්රිය මාර්ගයක් වීම.
    • එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත්, කුළුණු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉතා ඉහළ පිරිවැයක් දැරීමටත් සිදු වන බව පෙනී යාම.
    • සිය පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයේ රැකියා සහ වෙනත් කාර්යයන් සඳහා පැමිණෙන පුද්ගලයින් ආකර්ශනය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මගින් අවශ්‍ය පහසුකම් සලසා දීමට හැකියාවක් නොමැති බව නිරීක්ෂණය වීම.
    • එසේම, යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඒ සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදු වන බව ද පෙනී ගොස් තිබීම.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරය දෙරට අතර සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් වෙති.