මාස 14කට පසු ඩොලරයේ අඩුම SPOT Rate අගය අද වාර්තා වෙයි

    May, 30, 2023

    අද (30) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 296.68 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ දිනයේ දී මෙම අගය රු. 299.11 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    2022 මාර්තු 31 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ අඩුම වටිනාකම මෙය වේ.

    එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී හෝ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව සුළු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණි. ඊයේ (29) දින ඩොලරයක ගැනුම් මිල රු. 289.89 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් වාර්තා වූ අතර අද (30) දිනයේ දී ඩොලරයක ගැනුම් මිල රු. 290.67 ක් හා විකුණුම් මිල රු. 303.95 ක් ලෙසින් සටහන්ව ඇත.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ මැයි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.